Thursday, October 20, 2016

හීන ප්ලෑන් (17)

එක් සාමාන්‍ය දවසක මගේ හිතට අමුතු සිතිවිල්ලක් පහල විය. එය එකල සාමාන්‍ය හැගීමක් වූ බව මට මතකය. මේ සිතිවිල්ලට චිත්‍රපට හෝ චිත්‍රකතා හෝ නවකතා එකල බලපාන්නට ඇතිය. එහෙත් මට මේ සිතිවිල්ල ඇතිවූයේ අහම්බෙනි. සමහර විට ගෙදර ඇති නොයාකාර කරදර හා දුක් ගැනවිලි මගේ කුඩා සිත පොලඹවන්නට ඇත. ඒ කිසිවක් නොවන්නටත් ඇත. කෙසේ හෝ ගෙදරින් පැන යන්නට මම තීරණය කලෙමි. මගේ 'ප්ලෑනට' අනුව මම හදිසියේ ගෙදරින් පැන යමි. පැන ගොස් ඈත පලාතක කඩයක වැඩ කරමි. ඒ අතරතුර ලැබෙන හැම සතයක්ම ඉතුරුකරගනිමි. ටික දවසක් ගතවන විට කඩේ අයිතිකරු මට සිය දරුවකුට මෙන් සලකනු ඇත. ඉන් පසුව මම කඩේ සියලුම වැඩ බාරගනිමි. එයිනුත් කලක් ගිය තැන මේ මහලු කඩ අයිතිකරු මට මේ ව්‍යාපාර සියල්ල බාර දෙනු ඇත. එවිට මා කුලී රථයක් 'කතා' කරගෙන අම්මා බලන්නට යමි. සමහර විට අම්මා කැටුව එමි. මෙවන් ඉවරයක් නැති විකාර සිහින මැද මම නිවාඩු දිනයක් වූ දවසක කිසිවක් අතේ නැතුව ගෙදරින් පිට වුනෙමි. මගේ හීන ප්ලෑනට අනුව කවුරුන් හෝ 'පුතා කොහෙද යන්නේ..එන්ට මා සමග..මගේ ගෙදර නැවතුන හැකි..' කියා ඇසුවේ නැත. එහෙත් එක පාරටම ආපහු හැරෙන්නටද බයය. ඒ නිසා දිගටම ගියෙමි. මා මේ දැන් යන්නේ කොළඹ පැත්තට නොව අනෙක් පැත්තටය. ඒ බව එදා මම නොදත්තෙමි. කෙසේ හෝ ගමෙන් නගරයට යන බවක් වෙනුවට තවත් ගම ඇතුලටම යන බවක් මට පෙනෙයි. මහා රබර් කැලෑවල් මැදින් දිවෙන තාර පාරදිගේ තනිවම ඇවිද යන මට බයක් දැනෙයි. ඒ බය අද මෙන් බෙල්ල මුලින් අල්ලාගෙන කැලෑවට ඇදගෙන ගොස් බෙල්ලෙන්ම මිරිකා මරා දමාවිය යන බය නොවේ. අපි මේ ඝන රබර් වගාවේ අදුරට බය වුනෙමු. එකල සරුංගල් හා වෙසක් සමයේ කූඩු හැදීමට ඔට්ටුපාලු ගලවා ගැනීමට රබර්වතු අස්සේ බඩ ගෑවද මහා ගුප්ත අදුරේ මහ දවල් වුව අපි තනිව නොගියෙමු. අන්තිමේ මම ගැහි ගැහී පාලු රබර්වතු පහුකලෙමි. අවසානයේ දහවල් වන විට මා ඉන්නට ඇත්තේ සාලාව තුනීලෑලි සංස්ථාව හරියේ බව මට මතකය. ඒ හරියේ සෙනග හිටි බැවින් මගේ බිය තරමක් ලිහිල් විය. එහෙත් අධික බඩගින්න ඇරෙන්නට මගේ 'හීන ප්ලෑනේ' කිසිවක් සාර්ථක වී නැත. මා හදාවඩා ගන්නා මට සිය ව්‍යාපාර ලියා අයිතිකරදෙන්නා තවම හමුවූයේ නැත. අඩුම තරමේ මේ කොල්ලා අනාත වී ඇවිද යන බව දැක පැහැරගෙන ගොස් කරවල වෙලීමට දූපතකට ගෙනියාමට කිසිවකු ආවේද නැත. අනිතිමේ මම කුඩා තේ කඩයක් ලග නැවතුනෙමි. එතැන 'පිංතාලියක් ' තිබුනේය. වතුර පොල්කටු දෙක තුනක් බීවෙමි. මගේ වාසනාවට එය කඩේ හුන් කෙනෙකු දැක තිබුනේය. 'මෙහෙ එනවා..කොහෙද ගෙවල්..මේ හවස් වෙනකං මෙහෙ මොනවා කරනවද..ගෙදර අය දන්නවද..' මේ ප්‍රශ්න වැලටම උත්තර දෙනවිට මම ක්‍රීම් බනිස් ජෝඩුවක හා ලොකු ඇම්බුං ගෙඩියක හිමිකාරයෙකු වී සිටියෙමි. එකල එහෙමය. ලොකු වුන්ගේ හිත් පොඩි එවුන් වෙනුවෙන් උණුවෙයි. නිකන් ලැබුණු ප්ලේන්ටිය සමග මගේ හිත හොදටම සතුටුය. එහෙත්මේ රෑ වෙමින් පවතින වෙලාවක මා අයෙමත් යන්නේ කොහොමද...මගේ අතේ සතයක්වත් නැත. ඊට අමතරව මා අම්මා සමග ඇරෙන්නට බස් එකක ගොස් නැත. මගේ බය දැන් දෙගුන වෙයි. අම්මා මා සොයනවා ඇත. මට බඩගිනි වී ඇතැයි ඇය දුක්වනවා ඇත. එහෙන් අය්යලා මගේ කනෙන් අල්ලා ටොකු අනිනු ඇත. අක්කලා මට ලැජ්ජාවට හිනා වෙනු ඇත. ඒ සියල්ලට වඩා වටේ පිටේ එවුන් මට නක්කලයට හිනා වෙනු ඇත. මගේ හීන ප්ලෑන එහෙන් පිටින්ම හීනයක් වී තිබේ. මට බය දැන් කරවල වාඩි ගැනය. ඒ අස්සේ මට කන්නට දුන් මිනිහා කඩේ මුදලාලි සමග කුටු කුටුවකය. මේ මිනිහා මා ඔහුගේ ගෙදර ගෙනගොස් වැඩකාරකමට ගනු ඇත. මට කියා වලන් හෝදාගනු ඇත දර පලාගනු ඇත. කුඹුරු වැඩ රබර් කිරි කපාගැනීම කරනු ඇත. මා දැන් හදන්නේ ආපස්සට දුවන්නය. එහෙත් ඒ ප්ලෑනත් අවුල් කරමින් ඒ මිනිහා මා දෙසට ආවේය. 'කොල්ලො උඹලගේ තාත්තා මං දන්නවා සාලාවේ අපේ යූනියං එකේ බාලාතම්පො මහත්තයා එක්ක ඇවිත් කතාවකුත් කලා..ඒ මහත්තයගේ පුතා මෙහෙම රස්තියාදු ගහන එක ඒ මහත්තයට හොද නෑ...' යන් යං මං ඇරලවන්නං ගේ ලගට..' මේ මිනිහා මනුස්සයෙකි. මේ මනුස්සයා මා කැටුව බස් එකකට නැග , මගේ ගෙදරට හැරෙන හන්දියෙන් මා බස්සවා..යලි රස්සාවට යන්නට හදිසි යැයි කියා යන්නට ගියේය. මම මගේ කල්පනා ලෝකයේ ගිලී පාවි පාවී ගෙදර ආයෙමි. මා බලාපොරොත්තු වූ කලබගෑනියක් නැත. සියල්ල චංචලය නිසලය අම්මාද චීත්තයක් පෙරවාගෙන පැදුරේ නිදිය. මම ඇය ලග ඇලවුනෙමි. ඉස්සර අපි හවසට ඇලෙන් නා ගෙදර ආවා මිසක හවස 'වොෂ්' දා නිදාගත්තේ නැත. අම්මා වෙනදා මෙන් මා අත නොගෑවාය... එහෙත් නින්දෙන් මෙන් මට කියු දේ මගේ පපුවටම කිදා බැසි පිහිතුඩක් මෙන් විය. ' බත් බෙදලා ඇති ..බත් මුට්ටියෙ බිත්තරයක් ඇති ඇවිදලා ඇවිදලා මහන්සි ඇතිනේ...මොන දේ කරන්නත් ඉගෙන ගෙන ඉන්නවා...දැන් ඉතින් සද්ද නැතුව කාලා ඇගට වතුර එකක් දාගෙන එනවා..ගදේ බෑ... (ඈ සද්ද නැතුව කීවේ මේ බිත්තරය ගැන බව සක්සුදක් සේ දනිමි. පවුලේ අනෙක් අය හාල්මැස්සන් හොදි සමග බත් කා නිදියන්නට ඇත.) ඒ පිහිතුඩ නොවන්නට මම අදද කාගේ හෝ අගුපිලක කුලී කාරයෙක් වනු ඇත. එහෙත් අම්මා මගේ 'වීර' ක්‍රියාව දැනගෙන කීවාද නැතිනම් මා වෙනදාට වඩා වැඩිපුර රස්තියාදු ගසා ආ නිසා කියා හිතුවාද කියා මා අදද නොදනිමි.

No comments:

Post a Comment