Thursday, October 20, 2016

බීරළු

indian-boys-face-behind-cricket-stumps-bgn14eඅපේ ගෙට ඉස්සරහින්ම හයිලෙවල් පාරද..දකුණු පැත්තේ අම්මාට අයිතිව තිබූ කොටසද වම්පැත්තේ මහ විසාල ලී මඩුවක්ද (මඩුවක් නොව ලී විකිණූ, ඉරූ, ලී වලින් සියලුම දෑ හැදූ) පිහිටා තිබුණේය. ගෙට පිටිපස්සේ සිට ලී මඩුව හා වනාත පාර මායිමම ලී මඩුවේ අයිතිකරුවන් වූ පවුලේ අයට අයිති වූ දේපල විය. අප නෑමට බීමට කක්කුස්සි යාමට වතුර ගත්තේ මේ ඉඩමේ තිබූ ළිදකිනි. එය අපේ ගෙට මායිමේ වැටට එහායින් තිබුනේය. මේ ලී මඩුව මගේ ජීවිතයට ලොකු රුකුලක් දුන්නේය. ලී මඩුව පමනක් නොව එහි අයිතිකරුවන් වූ සහෝදරයන් කිහිපදෙනාද මා පොඩි එකාගේ සිට ලොකු එකෙක් කලේය. ඔබට විස්වාස නැතත් හතරේ පන්තිය වන විට මා බීරළු මැසිමේ බීරලු 'ලියෙව්වෙමි'. මට බීරළු මැෂිම පනගන්වා හතරැස් ලී පටියක් විකට් පොල්ලක් මෙන් රවුම් කරනා හැටි ඉගෙනගන්නට මුලින්ම ඒ පවුලේ බීරළු මැෂිම බාරව උන් අය්යාට ප්ලේන්ටි වතුර අදින්නට සිදුවිය. ඉන් පස්සේ මැෂිම පටන්ගන්නට පෙර හදුන්කූරු පත්තුකරන්නට සිදුවිය. තවත් කාලයක් මැෂිමේ වැඩ ඉවර වූ පසු පිහිදා තෙල් ගානා තැන්වල් තෙල් අල්ලා ලොකු ඝනකම් රෙද්දකින් වසා දමන වැඩ ඉගෙනගන්නට සිදුවිය. එකල මා මේවා කලේ සන්තොසයකින් කීවොත් අලි බොරුවකි. මම බීරලු මැසිම බාරව හිටි ඒ පවුලේ බාල සහෝදරයාට හිතින් සාප කලෙමි. අනෙක ඔහු මට ආදරෙන් කතා කලේද නැත. පල..ගෙනෙන්..කරලා කතා කරපිය..දුවපිය..අරන් වරෙන් යකෝ කියා දෝස්මුර දැම්මේය. එහෙත් අද මට මෙවා මට ආදරෙන් කතා කරනා අයගේ බොරුවලට වඩා දහස්වාරයක් හොදයැයි හිතෙයි. ඔහු එකල අවුරුදු දහ අටක විස්සක තරුණයෙක් විය. ඒ මුලු පවුලම දක්ෂයෝය. මා කලින් කී 'පතරංග නයි සරුංගල් ' කාරයා මේ කී බීර්ළු අය්යාය. ඔහුට වැඩිහිටි අය්යලා සියල්ලම වඩුවැඩේ අතිදක්ෂයෝ වූහ. ඒ වගෙම 'බීමේ' ප්‍රවීනයෝ වූහ. ඒ සියල්ලෝම බීමත්කමින්ම ජීවිත නැතිකරගත්තේ අකාලයේය. පසුකාලයක මේ පවුලේ හිත හොදම අය්යා කෙනෙකු බීමත්කමින්ම මියගිය වෙලේ මලගෙදරදී මම මේ බීරළු අය්යා හා කතාකලෙමි. ඔහු බමන මතින් වුව මගේ කතා අසා සිට 'ඔව් ඔව් බන් මට මතකයි..ඒ දැන් උඹ මහත්තයෙක් වෙලානේ..' කියා මගේ අත අල්ලාගෙන හිටියේ ඇත්තම සතුටට බව මට දැණුනේය. අද ඉතිරිව ඇති බීරළු අය්යා පසුව දක්ෂ 'කේක් බාස් ' කෙනෙකු විය. එහෙත් අවාසනාවකට අද ඔහුද තම අය්යලාගේ අඩිපාරේ යන්නෙකි. බීරළු ඉතා ලස්සනට ලියවූ ඔහුගේ කේක්වල අයිසින් රටා කොච්චර ලස්සනට ලියවෙන්නට ඇත්දැයි මට හිතාගන්නටවත් බැරිය. කෙසේ හෝ අන්තිමේ මට එක දවසක ' උඹට ඕනෙද එකක් ලියවන්ඩ..' කියා බීරළු අය්යාගේ කටින් වචන පනින විටම මා මැෂිම ලග හිටගෙනය. ඔහු මුලින්ම කරන්නට ඕනෑ වැඩ ටික කියා දුන්නේය. දෙකයි දෙකේ ලීයක් ගෙනෙන ලෙස අනකලේය. ඒ ලී දණ්ඩ මැෂිමේ දෙකොනේ සවිකල යුතු අන්දම එකින් එක කියා දුන්නේය. මැෂිම 'ස්ටාර්ට්' කරන්නට අන දුන් සැටියෙන් මම අගලක් විතර රවුම් කොල පැහැති බොත්තම එබුවා පමණි, මගේ හිස් මුදුනෙන් කන හරහා අකුනු සැරයක් වන් වේදනාවක් දැනුනේය. 'බල්ලෝ ඕන වැඩක් කරගන්න කලින් මැසිම යකඩ උනත් වැදලා අවසර ගනින්..' ඒ ටොකුපාරට පසුව බීරළු අය්යා ගෙරෙව්වේය. මම ඒ කී විදියට ඔලුව නමා දොහොත් මුදුන් තබා වැද..'තොට මම කවදාහරි මල් නියනකින් අනිනවාම' යැයි හිතෙන් කීවෙමි. අය්යාට සතුටුය. හා එහෙනන් පටන් ගමු කියූ සැනින් මම මුලින්ම කලයුතු රාජකාරිය වන මේ හතරැස් ලීය රවුම් කිරීම සදහා අගල් බාගයකට වඩා අඩු හතරැස් නියන අතට ගත්තෙමි. මා බීරළු අය්යා මේ වැඩේ කරනා හැටි දහස් වාරයක් දැක තිබේ . ඔහු නියන මැෂිමේ එක තැනකට බර කරමින් ලීයට ලන්කල විගස ලීය රවුම් වෙන්නේ බටර් මෙනි. (බටර් මා දැක්කේ ඒ කාල සීමාවේමය. එය ඊලගට ලියමි.) මාද වැඩකාරයා සේ නියන ඇල්ලුවෙමි. නියන මගේ අතින් පැන්නේය. පැන රවුමක් කැරකවී මගේ කන ලගින් ඇදී ගොස් ලී මඩුවේ බිත්තියේ වැදුනේය. බීරළු අය්යා මැසිම හනික නැවැත්තුවේය. ඔහුගේ දෑසේ බියපත් බවකි. 'උඹට කරදරයක් නෑ නේද..මං බයවුනා බං..නියන වැදුනානන් උඹලගේ අම්මා මාව ඉරල කයි..' ලී මඩුවේ නිසා බාසාවද ලී මඩුවටම අදාලය. ඔහු මට මේ වැඩේ ඉන්පසු කරුනාවෙන් කියා දුන්නේය. නියන බර කොට ඇල්ලිය යුතුය..මුලින් මුලින් ලාවට අල්ලා පස්සේ රවුම එක ගානකට ගන්නට තදින් එක මට්ටමකට ඇල්ලිය යුතුය. අන්තිමේ ටික වෙලාවකින් පසු මගේ ලීය අගනා ලෙස රවුමට ලියැවී ආවේය. මා ඉතා හොදින් ලියවා ඇති බව මට බීරළු අය්යාගේ මූනෙන් පෙනේ. ඔහු මා කෙරෙහී පැහැදී ඇත්තේය. එදින මගේ ජයග්‍රාහී දවසකි. ඉන් පස්සේ ඔහු යලි සිය වැඩ වල නිරත විය. (ඉන්පස්සේ දීර්ඝ කාලයක් නිවාඩු පාඩු වෙලාවක මා ඔහුට බීරළු ලියවීමට පහසු වන පිණිස ලී රවුම් කොට දුන්නෙමි. ඊටත් කාලයකට පසුව මා නුගේගොඩ පිරිමි පාසලට යන කාලයේ රටා සහිත බීරළුවක් තනියෙන්ම නිම කිරීමට තරම් ඉගෙනගත්තෙමි. මා ආසාම කලේ බීරළු ඉගෙනගත් එකට නොවේ..ඉන් පසු බීරළු අය්යා මා පොඩ්ඩෙකු නොව වැඩ්ඩෙකු ලෙස පිළිගත් නිසාය.) වැඩ ඉගෙනගත් පළමු දවසේම මම ගෙදර ගොස් අම්මාට පෙන්නුවෙමි. පවුලේ අනෙක් අයට පෙන්නුවෙමි. තාත්තා ගෙදර එනවිට පෙනෙන්නට උලුවස්ස ලග හේත්තු කලෙමි. තාත්තාට එය නොපෙනෙන්නට ඇත. ඔහු කිසිත් නොකීය. එහෙත් අම්මා ''ඕවා හොදයි නිකං විනෝදෙට වගේ'' කීවාය. ඇයට ඕනෑ වුනේ මා 'වඩ්ඩෙකු නොවී වැඩ්ඩෙකු' කරන්නටය. අන්තිමේ මා ඇය 'බලාපොරොත්තු වූ' වැඩ්ඩා වීමී. ඒ කතාව කියන්නට තව අවුරුදු තිහක විතර කාලයක් තිබේ. ....

No comments:

Post a Comment