Thursday, October 20, 2016

අපේ ආච්චී ගැනම 4

අපේ ආච්චී ඉපද ඇත්තේ නුවර අස්ගිරියේ ලොකු පවුලකට දාවය. ඇගේ පැන්ෂන් කාඩ් එකේ තිබුනේ තනිකරම ලංසි නමකි. ඇගේ එක් මල්ලී කෙනෙකු අප දැනුම් තේරුම් කාලයේ, ජනප්‍රිය වේදිකා හා සිනමා අධ්‍යක්ෂකවරයෙකු විය. ඔහු කොළඹ වැඩ වලට ආ විට ආච්චී බැලීමට අපේ ගෙවල් වලද ආවේය. විජය කුමාරතුංග මෙන් උස මහත ලස්සන ඔහු අපට නම් ලෙන්ගතු නොවූයේය. කෙසේ වෙතත් එන හැම වෙලාවකම "බේකන් බිත්තර බටර්" වාගේ අති සුවිශේෂ කෑමක් ගෙනීමටද ඔහු අමතක නොකලත් ඒවා ආච්චිට නොළැබී කෙසග කොල්ලන් හා කෙල්ලන් ඩැහැගනු ඇතැයි වැනි හැගීමක් හැම වෙලාවේම තිබුණේය. ඔහු ගෙදරින් එලියට යන විට "අක්කා ඇට්ලීස්ට් කීප් ලිට්ල් ෆොර් යුවසෙල්ෆ්" කියා කිව්වේ මොන කුනුහරුපයක්දැයි එදා නොතේරුනත් අද නම් ආච්චී ඒ සියල්ල මට වැඩිපුර තියා සමානව බෙදුව බව නම් මට තාම මතකය. සමහර දවස්වල කොළඹ නාට්‍යයක් පෙන්වන දිනවල ඔය කී 'මලයා' ආවත් ආච්චී කිසිදිනක ගියා මතක නැත. ඒ වෙනුවට "පප්පාවත් මරාගත්තා තනි තීරනෙට වැඩ කරලා..දැන් මේ ගුබ්බෑයම දාලා එන්නවත් ඕනෑකමක් නැත" කියා ජම්බු රතු පාට මූනත් හදාගෙන තරහෙන් පිටව යන මලයා සුපුරුදු කාරණයක් විය. පසු කලෙක අම්මා කියූ පරිදි ආච්චී අපේ සීයා යාලු වී ආච්චීගේ තාත්තා නැතහොත් පප්පා සමග උරණව සියල්ල හැර දමා නුගේගොඩ පදිංචියට විත් තිබේ. තවමත් මා ලග ඇති සීයාගේ පිංතූරය සහිත මරණ දැන්වීමේ නලුවෙකු ඇත්තේය. මේ නලුවා සමග එදා යාලුවන්නට ආච්වීට දෙපාරක් සිතන්නට උවමනාවක් නම් නැතිවන්නට හේතුවක් නැත. අපට දැනුම් තේරුම් ඇති කාලයේ ආච්චීගේ දකුණු අතේ මහපටගිල්ලට උඩින් කුරුසයක් කොටා තිබිණි. එ කාලයේ කිසිවකු අනුමත නොකරන මේ පච්චා කුරුසය සීයාගෙන් හා බුද්දාගං කාරයන්ගෙන් ආච්චීව බේරා ගන්නට පප්පා විසින් කෙටී යැයි ඇය ලැජ්ජාවෙන් කියුවාය. අතට අත දෙන විට කුරුසය පෙනෙන ලෙස කෙටුවත් බඹා කෙටූ කෙටිල්ල නතරකරන්නට පප්පාට තියා සක්කරයාටවත් බැරි විය. එහෙත් ඒ සියල්ලට හරියන්නට පප්පා තඹයක දෙයක් ආච්චිට නොලැඹෙන ලෙස වැඩ සලසා තිබුනේය. ඒ නිසා ආච්චී කිසිදිනක නුවර පස් පාගන්නට නොගියාය. දළදා මාලිගේ ගැන, පෙරහර ගැන , පප්පා සමග ආලින්දයට වී හෙවිසි හඩ අසන මිහිරියාව ගැන ආදී බොහෝ දේ ගැන උපතින්ම කතෝලික වූ ආච්චී අපට කියාදුන් වාර අනන්තය..එහෙත් කිසිදා ඇය එහි නොගිය බව නම් මා දනිමි. ඒ හිතුවක්කාරකම ගැන මම තරම් සතුටු වන කෙනෙක් නැත්තේ මාද එවැනිම හිතුවක්කාරයෙකු බැවිනි..

No comments:

Post a Comment