Thursday, October 20, 2016

බීඩි 16

මේ කතාව පිළිබද මට ඇත්තේ අඩු මතකයකි. එහෙත් මේ සිදුවීම් මගේ මතකයේ කොනක ඉතිරිව මියෙන්නට දෙන්නට බැරිකමක් තිබේ. මේ සොදුරු මතක පිලිසකර කර, ගොඩ දා ගත යුතුව තිබේ.මන්ද මා මිනිහෙකු ලෙස හැදී වැඩී තිබෙන්නේ කාලය සමග නිසාවෙනි.
අපේ ගමට ඇතුලුවන්නට තිබුනේ හයිලෙවල් පාරේ සිට අවිස්සාවේල්ල දෙසට දිවෙන තාර පාරේ සිට වමට වන් කුඩා පාරකිනි. මේ පටුමගට හරි කෙලින් තාරපාරෙන් අනෙක් පැත්තේ පාර අද්දරම කලුගල් තලාවක් උඩ කුඩා මැටි ගෙයක් තිබුනේය. දැන් එම ඉඩම රජයේ ආයතනයකට තැනූ විසාල ගොඩනැගිල්ලක් වී තිබේ. මේ පොල් අතු ගෙයි පදිංචි මගේ වයසේම කොල්ලෙකු සිටියේය. ඔහුගේ පියා කුලී වැඩ කල බව මට මතකය. එහෙත් ඊට අමතරව ඔහු සතුන් දඩයම් කලේය.මේ සතුන් බොහෝ විට ඉත්තෑවුන් වල් හාවුන් හා මීමින්නන් විය. දැන් ශශ්‍රීක ලෙස ගොඩනැගිලි හැදී දියුණු වි ඇතත් එකල ඒ පෙදෙස ඝන කැලෑ බිම්නිසා මගේ මිතුරාගේ පියාට දඩයමෙන් අඩුවක් නොවීය. මගේ මිතුරාද මේ දඩමස් රුචියෙකු විය. හාවන්ගේ මසේ මෙළෙක් බවද ඉත්තෑ මසේ තද ගතිය මෙන්ම තලගොයින්ගේ විස නහර කපනහැටිද ඔහු හොදින් දැන සිටියේය. මේ වයසේදී පමනක් නොව දැන් ගැටවරයෙකු වන මගේ පුතාට කඩියෙකු හා දිමියෙකු අතර වෙනස දැනගැනීමට මම ඉඩක් දුන්නේ නැත. මඩවලක මඩ කලතා 'විස කටුව ' නොවදින ලෙස හුංගො මාලුවන් ඇල්ලූ මම අද වායුසමණය කල 'ෆිෂ් මාකට්' එකකටවත් මගේ කොල්ලන් එක්කා යන්නේ නැත. එහිවැරැද්ද මගේ යැයි සිතන්නට මම අකමැත්තෙමි. කෙසේ හෝ ගල උඩ ගෙදර කොල්ලා සහ මා අතර සම්බන්ධය වෙලදාමක් විය. ගල උඩ ගෙදර කොල්ලා ඒ හැම දඩමසක්ම කැන්ද කොලයක හෝ කෙසෙල් කොලයක ඔතා මට ගෙනාවේය. අපදෙදෙනා හමුවූයේ ගල්තලාවට උඩින් වූ ලොකු දෙල් ගහක විසාල අත්තක් උඩය. මගේ ‘ව්‍යාපාරික’ මිත්‍රයා ඔහුගේ අම්මා ඉවූ රස දඩමස් කොටස මගේ ගිජු බඩට යනවිට ඔහු මදෙසබලා හිනාවෙයි. මම ඇගිලිවල ඇදුම්වල පෙරාගෙන කනහැටි ඔහුට විනෝදය ගෙනදෙන්නට ඇත. මගේ කෑම කෑ පසු වෙලදාමේ ඉතුරු ටිකය. සුදු අක්කාගේ කඩේ ලස්සනට බීඩි අසුරන්නට දෙන සුරුට්ටු පෙට්ටියෙන් ලද ඇසිල්ලෙන් ඉනේ ගහ ගන්නා බීඩියක් ඔහුට දෙන්නෙමි. බීඩිය ලැබුණු සැනින් ඔහු ගහෙන් පැන හැල්මේ දුවන්නේය. ආයෙත් ඒ ක්ෂණයෙන් එන්නේ ගිනි පෙනෙල්ලකුදු උස්සාගෙනය. මේ හැතැක්ම බාගේ දුවන්නට ඔහුට විනාඩියක් යන්නේ නැත. ඒ වේගයෙන්ම ගහටද නගින්න්නට දක්ෂ මගේ මිත්‍රයා ගිණිපෙනෙල්ලට කටින් පිඹ ගිනියම් අගුරුකැටයක් පාදාගෙන බීඩිය පත්තුකරනා හැටි මට අදද මැවී පෙනේ. ඔහු මගේ බීඩි හොරකම දැන සිටියේය. මම ඔහුගේ හොර බීඩි බීම ගැන දැන සිටියෙමි. මා ගමෙන් පිටව නුගේගොඩ ඉස්කෝලෙට එනතෙක් මේ ජාවාරම කලෙමි. එහෙත් මා කිසිදිනෙක බීඩි බීවේ නැත. මෙයින් අවුරුදු දහයකටපමණ පසුව නුගේගොඩ හැර දමා හෝමාගම ගෙදර ආ වෙලේ සිගරට් බීමට පුරුදු වූවත් එදා ගල උඩ ගෙදර කොල්ලා සමග දෙල්ගහේ අත්තක වාඩිවී කකුල් පද්ද පද්දා මගේ මිත්‍රයා බීඩි බිව් හැටි බලා සිටියද මම නොබීවෙමි. එකල 'අද' මෙන් නොව අයියලාට හා ලොකු අක්කාට මම මහා බයෙන් සිටියෙමි. ඒ නිසා මා එදා බේරිණ. එහෙත් බීඩි හොරකම, දඩමසේ රස නිසා දිගින්දිගටම කරගෙන ගියත්, මේ ලියන මොහොත දක්වා කිසිවෙකු දැනගත්තේ නැත.

2 comments:

  1. //මේ වයසේදී පමනක් නොව දැන් ගැටවරයෙකු වන මගේ පුතාට කඩියෙකු හා දිමියෙකු අතර වෙනස දැනගැනීමට මම ඉඩක් දුන්නේ නැත. මඩවලක මඩ කලතා 'විස කටුව ' නොවදින ලෙස හුංගො මාලුවන් ඇල්ලූ මම අද වායුසමණය කල 'ෆිෂ් මාකට්' එකකටවත් මගේ කොල්ලන් එක්කා යන්නේ නැත. එහිවැරැද්ද මගේ යැයි සිතන්නට මම අකමැත්තෙමි. //

    උඹ හෙන කුහකයි බං..... උඹේ ළමයි උඹ විඳපු සුවඳ විදිනවටත් උඹ අකමැතියියි.... කියවනකොටම හිතට ආපු එක කොටන්නේ.... තරහ වෙන්ඩ එපා බං අයියේ..... මගෙ හිතට දැනෙන දේ කිව්වේ.....

    ReplyDelete
  2. නෑ ලමයො මගේ තරහක් නෑ. ඒත් කිව්ව වගේම මම ඒගැන ගොඩක් තැවෙන්නෙත් නෑ. ඒත් මේ සීමාවේ මට කියල ගොඩක් දෙවල් කරන්න තරන් ප්‍රායෝගික වාතාවරනයක් නෑ. මම සුන්දරයි කියල ලොකු බොරු තොගයක් ලියන්න තිබ්බ. ඒත් මම ලිව්වෙ ඇත්ත. මම කුහක ඇති..අපි ජීවිතේ ගොඩක් දුර එද්දි ඒ කුහකකම අපිත් එක්ක එනවා. මම මගේ ලමයින්ට මඩේ නාන්න දුන්නෙ නෑ..මට දුකයි උන් ලෙඩ වෙයි කියල. මම වැස්ස වෙලාවට බැල්කනි එක ලගට වෙලා අත් එලියට දාගෙන උන් එක්ක වැස්ස කැට කැට වැටෙන හැටි බලන් ඉන්නවා...මහවැස්සෙ සීතල වෙලාවට උන්ව ඇද උඩට අරන් ලොකු රෙද්දක් පෙරොගෙන මගේ පරණ කතා කියවනවා. ..නුගේගොඩ සරසවි එකේ අපි හතරදෙනා ගිහින් වරු ගනන් පොත් බල බල ඉන්නවා..ඒත් මම හැම දේම ගන්න දෙන්නෙ නෑ...ජීවිතයේ විදින්න පුලුවන් හැම දේම සරල විදියට තේරුම් ගන්න කියල දෙනවා...සූටික්කටත් එහෙම වෙලාවක් එයි. මගේ කුහකකම ගැන මම සතුටුයි. මම "විදවපු" සුවද උන් "විදින්නෙ" එහෙම. ගොඩක් අය ඒ ගැන හිතන්නෙ සූටික්කා හිතපු විදියට. ඒත් කාලය එක්ක මේ හැම වචනෙකම තේරුම් වෙනස් වෙනවා....

    ReplyDelete