Thursday, October 20, 2016

බස්ටිකට්

අපේ ගෙට උඩින් තිබුනේ ඉරිදාපොළ භූමියයි. ගෙට උඩින් කීවේ, අපේ ගේත් ඉරිදාපොලත් මැදි කරමින් හයිලේවල් පාර දිවූ නිසාවෙනි. එකල අද මෙන් මුලු ලෝකයෙම වාහන මේ හයිලෙවල් පාරේ දිව්වේ නැත. රත්නපුර , අවිස්සාවේල්ල පැත්තේ සිට සීටීබී බස් ආවේද අද මෙන් නොව නිවීසැනසිල්ලේය. රෝසා 'ෆ්ලැට් රූෆ්' බස් වල මැද පොල්ලේ එල්ලී නුගේගොඩ හන්දියට යන්නට එකල ශත පනහකට අඩු මුදලක් ගත්තා මට මතකය. ඊට අමතරව කුඩා 'බට්ටා'වෑන් රථද පොල්පටවාගෙන හයිලෙවල් පාරට සමාන්තරව උඩහමුල්ල නුගේගොඩ ධාවනය කලාද මට මතකය. ඒ කාලේ අපේ අල්ලපු ගෙදර අය්යා කෙනෙක් මහ විසාල 'නයි' සරුන්ගල් ඇරියේද මේ හයිලෙවල් පාර දිගේය. එකල සරුන්ගලය අහසට නගින තෙක් කාර් බස් ද නවතාගෙන හිටියේ අදමෙන් අපේ අම්මලා මතක් කරමින් නොවේ. කාර්කාරයෝ වීදුරු අස්සෙන් මේ අපූර්ව සරුන්ගල් උඩ යනහැටි බලාගෙන හිනාවෙමින් වාහන නවත්තාගෙන සිටියා මට අදද මැවී පෙනේ. එකල මම තුනේ පන්තියේ විතර වුවත් හයිලෙවල් පාරේ එහා මෙහා පැනීම මහා ලොකු වැඩක් නොවූයේය. මම එදත් අදත් කඩදාසි කොල කෑලිවලට මහා පෙරේතයෙකි. ඒ අස්සේ ජයසින්හයේ කොල්ලන් අතර මා නොදැන සිටි සෙල්ලමක් බෝවී තිබිණ. එකල සීටීබී බස්වල ටිකට් දුන්නේ මැෂිමකින් නොව එකට බැද බන්ඩලයක් මෙන් ගොනු කොට ලෑලි පතුරකට අමුණා තිබූ අගලක් පලල අගල් දෙක තුනක් දිග පාට පාට ටිකට් තොගයකිනි. මේ ටිකට් ශත දහයේ හෝ පහේ සිට රුපියල් දෙකක් පමණ වටිනාකම් වලට පාට පාටෙන් මුද්‍රණය කොට තිබුනේය. අම්මලා තාත්තලා ගෙදර ගෙනෙන මේ බස්ටිකට් වලට අමතරව බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙමින් කොල්ලන් ඒකල මේ බස් ටිකට් අහුලාගත්තෙය. තැලීපොඩිවී හෝ කුණුගෑවී නැති බස් ටිකට් එහි සදහන් වටිනාකමට වඩා අපට වටින්නේය. මේ බස්ටිකට් සෙල්ලමට මා ජයසින්හෙට ආ පසු ඇබ්බැහිවිය. එතකුදු බස් ටිකට් ගැන මා දැන සිටියේ නැත. කෙසේ හෝ වැඩි කාලයක් යන්නට පෙර මා එහි 'පකීර්' කෙනෙකු විය. බස්ටිකට් බිස්නස් එකක් බවට පත්වූයේ ඉන්පසුවය. පෑන් පැන්සල් , පොත්පත්වල සිට වර්නන් මහත්තයාගේ ගස්වල ගෙඩිවලටද අපේ බස්ටිකට් හුවමාරු විය. ඒ නිසා බස්ටිකට් විනෝදාංශයක සිට මහා ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය. ඒ නිසාම මම අධික ලෙස රස්තියාදුවට පුරුදු වූ අතර, බිම බලාගෙන හයිලෙවල් පාර දිගේ බස් ටිකට් අහුලන මේ කොල්ලා මතක්වනවිට අදද මගේ හිත සතුටින් පිරී යයි. එකල මම සෙරෙප්පු දැමූ වගක් මට මතක නැත. එහෙත් අපේ පවුලේ අනෙක් හැමෝම සෙරෙප්පු දැමූ බව මට මතකය. ආච්චී ඉතා ලස්සන දිගු ගවුමට ගැලපෙන මල් හැඩ දැමූ සෙරෙප්පු දැමුවාය. අම්මාද කිසිදා රබර් සෙරෙප්පු නොදැම්මාය. ඒ දෙදෙනාටම පාරම්පරික උරුමයක් වූ පැතිර යන තුවාල ජාතියක් වූ 'දද' කකුලේ හැදීම රබර් සෙරෙප්පු නොදැමීමට හේතු විය. කෙසේ හෝ මගේ බස් ටිකට් ව්‍යාපාරය නිසා රුපියලක් දෙකක් නිතරම මගේ අතේ තිබුණේය. අතට සල්ලි එන්න එන්නම මගේ රස්තියාදුවත් වැඩිවුනේය. ජයසින්හයේ ඉගෙනුමට වඩා මේ ව්‍යාපාරය ජයෙන් ජයටම ගියෙන් විභාගවල ලකුණු එන්න එන්නම පහලට යන්නට පටන් ගත්තේය. කෙසේ වුව එකල අපව පස්සෙන් පන්න පන්නා උගන්වන ක්‍රමයක් තිබුනේ නැත. අප කුමක් හෝ ඉගෙනගත්තද ඒ අපේ මහන්සියෙන් හෝ ජන්ම හැකියාවෙන් විය. මට මහන්සියට වඩා ජන්මයෙන් ආ මොකක්දෝ දෙයක් නිසා පොතක්පතක් නොදැක වුව සාමාන්ය ලකුණු ප්‍රමානයක් ගැනීමේ හැකියාව තිබුනෙන් ගෙදරට ' කම්ප්ලේන්' ආවේ නැත. අනෙක ජයසින්හයේ කීකරු ලමයන් අතරේ මට හොද තැනක් තිබුනේය. අනෙක ඉන්ග්‍රීසි හා සින්හල විෂයයන්වලට මට තරම් කාටවත් ලකුණු තිබුනේද නැත. ඒ නිසා කිසිම බාහිර බලපෑමක් නැතිව මගේ ව්‍යාපාරය සදහා රස්තියාදු වීමට මට ඉඩකඩ තිබුනේය. එහෙත් හැම ව්‍යාපාරයකටම හතුරෙක් සිටී..මේ හතුරා හැමවිටම ව්‍යාපාර හොදම තැනකට ආ වෙලාවට පැමිණ අහිංසක ව්‍යාපාර සුන්නත්ධූවිලි කරදමයි. මගේ ව්‍යාපාරයටද එහෙම දවසක් ආවේ අහම්බයකිනි. අපේ ගේ ලග සිට නුගෙගොඩ හතේ කනුව දක්වා ටිකට් අහුලමින් පයින්ගිය දවසක මා දුටු අපේ ලොකු අය්යාගේ යාලුවෙක් අය්යා 'අවුස්සා' තිබින. මා බස් ටිකට් තොගයක්ද එකතුකරගෙන ගෙට ආවා පමණි. ඉදහිට ගෙදර ඇවිත් යන ලොකු අය්යා මගේ කනෙන් ඇල්ලුවේය. අහුලාගෙන ආ බස්ටිකට් ටිකත් සුරුට්ටු පෙට්ටියක දා එකතුකරගෙන සිටි හොදම බස් ටිකට් ටිකත් හීන් පොද වැස්සක් වෙලාවක මිදුලට විසික් විය. මට නොසෑහෙන්නටබැන වැදුනු අය්යා මා රස්තියාදුකාරයෙකු වෙන්නට දී ඇහැකන පියාගෙන ඉන්නේ යැයි අම්මාටද නෝක්කාඩුවක් කීවේය. එහෙත් අය්යා මගේ ටිකට් මට යලි අහුලාගන්නා හැකිවන ලෙස විසීකර තිබුණුබව මට මතකය. ඔහුට ඕනෑ වී තිබුනේ මා හයිලෙවල් පාරේ රස්තියාදුවේ යන එක නවත්තන්නට වෙන්නට ඇතිය. මට මේ කේලම කී අය්යාගේ යාලුවා පිළිබද ලොකු තරහක් ඇතිවිය.කවදා හෝ ලොකු වී පලියගන්නට එදා මම හිතාගත්තෙමි. එහෙත් ඒවා කාලය සමග මැකීගියේය. පොඩිකාලේ අපිකොයිතරන් දේවල් හිතනවාද...එහෙත් මේ අය්යාගේ යාලුවා මට මීට අවුරුදු දෙක තුනකට පෙර අහම්බෙන් මුනගැසුනේය. මුනගැසුනා කීවාට මම අහුන්ගල්ල පැත්තේ යාලුවෙකු මුනගැහීමට ආවිටක හදිසියේ අපේ වාහනය නවත්වා 'මහ ඇමැතිතුමා යනනිසා පාර වහනබව' කියා පොලීසියෙන් අප නැවත්වූ විට, මේ කරදරකාර ඇමැතියා කවුදැයි මම අසා දැනගත්තෙමි. එ සමගම මගේ බස්ටිකට් කතාව මතක්වූයේය. ලොකු කලු ජීප් රථයක නැගී පොලිස් ආරක්සාව සමග උජාරුවෙන් ගිය අලි බඩක් සහිත, එදා මා රස්තියාදුකාරයෙක් වෙන්නටනොදී බේරාගත් මේ ‘කේලමා’ දුටු විගස මගේ බස්ටිකට් මිදුලපුරා විසිරී වැස්සට තෙමෙන හැටි මතක් විය.

No comments:

Post a Comment