Thursday, October 20, 2016

ජයසින්හෙ..

අම්මා නුගේගොඩට ආ පයින්ම පොඩි අක්කාත් මාත් ඒ ලගම පිහිටි ජයසින්හ ඉස්කෝලෙට දැම්මාය. එකේ සිට පහ පන්ති දක්වා වූ මේ පුංචි ඉස්කෝලේ මගේ තවත් නවාතැනක් විය. අපේ ගෙදර සිට පයින් ඇවිදින්නට හැකි දුරින් ජයසිංහය පිහිටියෙන් අප දෙදෙනා පයින්ම පාසල් ගියෙමු. අප දෙන්නා කීවාට මම හැමදාම ගියේ පිටුපස්සෙ වැට පැත්තෙනි. මගේ පන්තියේ එවුන් උදා රැස්වීමද ඉවර වී 'ප්‍රින්සිබල්' සර්ගේ දීර්ඝ කන්දොස්කිරියාවද හිටගෙන අසා පෝලිමේ පන්තියට එනවිට මම සැපසේ කුඩා පුටුවක වාඩි වී හිදිමි.උදේ නැගිටින්නට අදද මම මහා කම්මැලියෙකි. එදත් අම්මා මට ආදරය කලාය. මා උපන් කම්මැලි කමෙන් නිදන විට අම්මා මා එකවරක් සෙමෙන් කූද්දා ' අද වුවමනාම වැඩක් නැත්නම් ගෙදර ඉන්නැයි' කීවාය. ඒ නිසා මා ජයසිංහයට ගිය ගමන නිවාඩුවක් මෙන් විය. මේ මා 'තොදොල් කිරීම' ගැන දෙවැනි අය්යා අම්මාට දොස් කී බව මට මතකය. අම්මා පෙරලා දෙවනි අය්යාට කිසිත් කීවේ නැත. අම්මා තමන් කරන්නේ වැරද්දක් බව දැන සිටියාය. එහෙත් අපේ අම්මා එහෙමය. මා ඒ ගැන කිසිදු විටක අහිතක් හිතා නැත. කෙසේ හෝ අක්කා ඉගෙනීමේ පුදුම දක්ෂකමක් දැක්වූවාය. ඈ හැමවිටම පාඩම් කලාය. තාත්තා දරා ගැනීමට බැරි තරම් බී ගෙදර විත් අම්මාගේ කෙහෙවල්ලෙන් අල්ලා ගුටි දෙන විට අපි අම්මාගේ ඇගේ එල්ලී ඈ බේරාගන්නට වළිකන වෙලේ පොඩි අක්කා පොතක එල්ලී නිසොල්මනේ උන්නාය. ඇගේ ප්‍රාර්ථනා අදටත් සාර්ථක නැතිවීම ගැන මම නිහඩව දුක්වෙමි. මා එසේ කියන්නේ ඈ මාතර පිරිමි ඉස්කෝලෙක විද්‍යා ගණිත ගුරුවරියක වීම නිසා නොව ඇයට ඉන් එහා බොහෝදුර යන්නට උදව් දෙන්නට කිසිවෙකු නොසිටි නිසාවෙනි. ජයසිංහයේදී අක්කා හැමදාම පන්තියේ පලමුවැන්නිය විය. සතියකට දවස් දෙක තුනක් ඉස්කෝලේ ගිය, කිසිදු පාඩම් පොතක් හරියට නැති මමද හැමදා පන්තියේ පලමුවැනියා විය. එහෙත් අක්කා හැම විෂයකටම ලකුණු අනූවකටත් වඩා ගන්නා විට මා සමහර විෂයනට ගත්තේ ලකුණු දහයක් හෝ පහලවකි. අක්කා මැට්ටන් අතර විශිෂ්ඨ වන විට මම මැට්ටන් අතර උසස් මැට්ටෙක් විය. අක්කාට මේ නිසා ශිෂ්‍ය නායිකාවක ලෙසද තනතුරක් තිබූ අතර එකලද අක්කාට මුලු පාසලම ලොක්කියකුට මෙන් සැලකුවේය. අප දෙදෙනා ජයසිංහයට ගිය ගමන මගේ ජීවිතයේ තවත් නොමැකෙන මතකයකි. හයිලෙවල් පාරෙන් වනාත පාරට හැරෙන අපි ස්ටැන්ලි තිලකරත්න මහතාගේ මල්ලී වූ වර්නන් තිලකරත්නගේ නිවසේ තාප්පයේ වැඩි කලක් ඉදින්නෙමු. විසාල වත්තක මුල් කොටසේ අඹ ජම්බු, නාරන් හා විසාල දිවුල් ගසක් තිබූ අතර මගේ පරක්කුවටම දායක වන කොලු රැලක්ම හිටියේය. අප ජයසිංහයේ පන්තිකාමර වලට යනවිට අප ලග ගස් ගදේ ඉන්නට බැරිය. එහෙත් සාක්කුවල ජම්බු, අඹ ගැට වෙරළු නිසා අනෙක් එවුන් කිසිවක් කියන්නට හයියක් ගත්තේ නැත. එකල කැන්ටීන් හෝ ටක්ෂොප් කියා ජාතියක් තිබුනේ නැත. අම්මලා තාත්තලා 'පොකට් මනී' කියා ජාතියක් දුන්නේත් නැත. කෙල්ලන් කොල්ලන් හට බඩ පිරෙන්නම බොන්නට හෝ ගා වතුර ගලන ටැප් එකක් නම් තිබිණ. ඒ නිසා අපේ සාක්කු නිතරගයෙන් අපව 'ලීඩර්ලා' කොට තිබුණේය. ඒ අතරේ කෙල්ලන්ද අපට වැඩි කැමැත්තක් තිබුණේ මේ නිසා වන්නට ඇත. ඒ මොනවා වුවත් වර්නන් මහතාගේ බල්ලන් මහා සැර එවුන් විය. උන්ගෙන් බේරීමට තාප්පයෙන් කෙලින්ම ගහට පැනගත යුතුය. මේ සෙල්ලමේ මා දක්ෂයෙකු විය. එහෙත් අද මෙන් එදාත් ඒ බල්ලාට වැඩිය බල්ලාගේ අයිතිකාර නෝනලා නපුරු විය. නෝනලා බල්ලන් පමණක් නොව ගෙදර මෙහෙකරුවන්ද අප පස්සේ පැන්නවූයේය. එහෙත් ඒ ගෙදර වැඩට සිටි දෙමල කොල්ලෙකු මට මතකය. ඔහු එකල කොල්ලෙකු නොව තරුණයෙකු වූයේය. මේ දෙමලා අප එනවිටම අර බල්ලන් කූඩු කරන්නේය. බල්ලන්ගේ කෑගැස්ම නිසා අවදිවන නෝනලා බල්ලන් ලෙහන්නට අනදෙන විට අප ජයසින්හයේ පන්තියක වාඩි වී දවසේ පන්සිල් අරගෙනත් හමාරය. එහෙම 'දෙමලුන්ට' ඊට ටික කාලයකට පසු 'අලි ගල්ගෙඩි' වලින් බිම දමාගෙන ගහන හැටි දකින්නට තරම් වාසනාවන්ත ' සිංහලයෙකු ' වීම අදටත් මගේ හිත පාරවයි.

No comments:

Post a Comment