Thursday, October 20, 2016

පැදුරු

මේ ලගකදී මගේ පොඩිම එකාගේ (ඌ, මූ, අරූ, මචං, යකෝ,බං ආදී නොයේකුත් නොහොඹිනා වචන මගේ සමීපතමයන්ට පම්ණි ) පාසලේ මොකක්දෝ වැඩකට පැදුරක් ගෙන එන ලෙස මහා කරදරයක් විය. අනෙක පැදුරු ගන්නට තැන් දෙක තුනකටම යන්නටත් සිදුවිය. ඊලග කාරණේ පැදුරු තිබුනෙත් ප්ලාස්ටික් වියමිනනි. කෙසේ හෝ මේ හදිසි ඉල්ලීම ප්ලාස්ටික් පැදුරක් අරන් දීමෙන් විසදිනි. එහෙත් පසුදා රැකියාවට යන අතරේ මගේ හිත මොකක්දෝ අදුරු හැගීමක සිරවිණි. ඒ කිමක්දැයි මට හරියාකාරව තේරුම් ගන්නත බැරිය. එහෙත් ඒ මේ පැදුරු කතාවම බව මගේ හිත කියයි. පැදුරු තරම් සමීප දෙයක් මට තවමත් හමුවී නැත. මගේ ජීවිතයේ බොහෝ දේ පැදුර සමග මොකක් හෝ සම්බන්ධයක් ඇත්තේය. සීයාගේ බූරු ඇදේ ..මාමාගේ ගොම ගෑ පොළව උඩ ඇතිරූ..අම්මා අක්කලා එක්ක සීතල සිමෙන්තියේ ...කීයක් නම් කියා මතක් කරන්නද...මකුණෙක් දුටුවිට අද මගේ කකුල් සීතල වෙයි. කෑවොත් පළු එයි..එහෙත් එදා පැදුරු වාටි අස්සේ මකුණු පවුල් ජීවත් වුනේ අපි උන්ට ආදරේ බව නිසා උන් හිතන්නට ඇත. එහෙත් අපේ කම්මැලි කම නිසා මකුනෝ සුවසේ ජීවත් උනෝය. උන් උන්ගේ සීමාව තරණය කල විගස අපි කකුලේ මහපටගිල්ලෙන් උන් පොඩිකර එතනම මරා දැමුයෙමු. මා කිසි දවසක නිදා නැගිටින පැදුරු ඇකිලුවේ නැත. ඒ ඇකිලීම නැතිනම් රෝල් කිරිල්ල අම්මාම කලේය. නැත්නම් මා හදන විදියේ කිසිම ගතයුත්තක් නැත කියා ලොකු අක්කාම ඒවා කලේය. එකල මටම කියා පැදුරක් නොතිබුනාට කොට්ටයක් හා පෙරවීමට රෙද්දක් තිබුනේය. මේ පෙරවන රෙද්ද අම්මාගේ පරණ වොයිල් සාරියක් විය. මා තාත්තාගෙන් උගත් එකම දේ මේ සාරිය වටේ කොට්ට උරයක් මෙන් මසා ගන්නා එකය. එවිට ඊජිප්තුවේ මමියක් මෙන් ඉසේ සිට මහපටගිල්ල දක්වා වසාගෙන මදුරුවන්ගෙන් බේරිය හැකිය. මහ ගිනි රස්නේ දවස්වල පවා අපි ඉහේ හිට පෙරවාගෙන නිදන්නෙමු. මට මේ නිදන හැටි, දවසක ගිනි තියාගෙන මළ මගේ මිතුරෙකුගේ සිරුරක් හදුනාගැනීමට මෝචරියට ගියවිට දැක ගන්නට ලැබී මගේ මිතුරාගේ වියෝවේ දුකට උඩින් හීන් සිනාවක් මතුවූයේය. එක පෙලට එක එක පාට රෙදිවලින් ඔතා තිබූ මල් ශාලාවලින් ගෙනයාමට නියමිත මළමිනී හත අටක් පෙලට පැදුරක් උඩ තබා තිබුනේ ය. එකල අප නිදන හැටි කෙනෙකු දුටුවානම් මගේ හීන් සිනාව නොව කොක් හඩළා සිනාසෙනු ඇත. එහෙත් මේ දුර්භාග්යය අස්සේ අප විටින් විට සතුටෙන් ජීවත් වුනෙමු. අදද අපට කියා සතුට සමාජයක ඇත. ලොකු අය්යා ලංකාවට ආ විටද ..තුන්වැනි අය්යා පඩි අරන් ආ දවසටද..ඒ මොකුත්ම නැතත් අද කාලයේ පවුලේ අපි කිහිපදෙනෙකු කොහේ හෝ හමුවූ විටකද මේ සතුටු සමාජ වල ගිලී ඇති පදම් හිනාවන්නෙමු. ඒ පුරුද්ද ආවේ කොහෙන්දැයි මම නොදනිමි. එහෙත් අපේ ගෙදර කාටත් හිනා 'ගැස්සීමේ' හැකියාවක් තිබිනි. පහු කලෙක ලොකු නෑනා මේ සමාජයේ උඩින්ම සිටියාය. ඈ සැප සතුට ඔස්සේ විත් අපේ කරදර පවුලට එකතු විය. එහෙත් ඒ දුක් කම් කටොළු ගැන ඇය කිසිදා දොස් කියනු මා අසා නැත. අපි කුප්පි ලාම්පු එලියේ පැදුරු උඩ පිරුනු හෝ හිස් බඩවල් අල්ලාගෙන හිනාවූයෙමු. 'පැට්රෝල්මැක්ස්' ලැබුනදා අම්මා අලුත් සෙල්ලමක් ඉගැන්වූවාය. අපි දෙතුන්දෙනෙකු බිම පැදුරක් දා උඩබැලිව නිදාගන්නෙමු. අම්මා ඊට උඩින් ලොකු පැදුර දමන්නීය, ඉන් පසු ඒ උඩට ඇගේ පාට පාට වොයිල් සාරි දමන්නීය. ඉන් පසු පැට්රොඩල්මැක්ස් එකේ එළිය අඩු වැඩි කරන්නීය. පැදුරට යටින් අපේ ලෝකය සුරන්ගනා ලෝකයකි. එළිය අඩු වැඩි වන තරමට පැදුරේ කුඩා හිල් වලින් පාට පාට අලෝකය එයි. පොඩි අක්කාද මාද මේ අපූරු රටා වලට වශී වුනෙමු. අම්මා එක සාරියක් ගෙන තව එකක් පැදුරට උඩින් දමනා වෙලේ ඇතිවී නැතිවී යන ආලෝක දහරා මට තාම මතකය. ඒවා මගේ දරුවන්ට දෙන්නට තරම් මා ශක්තිමත් නැත. ඒ වෙනුවට චීනයේ පදික වේදිකාවක තිබී සීනිකැට තරමේ 'ලුමිනස්' තරු කැට ගෙනත් දුන්නෙමි. ඒවා සීලිමේ ඇලවී රෑ නිදද්දී වෛවර්ණ ආලෝක ගෙන එයි. ඒ මගේ හැටිය. මගේ හැටි එහෙමය. මගේ හැටි මටද නොතේරෙන හැටිය...

No comments:

Post a Comment