Thursday, October 20, 2016

කුඩු

image-preview_00064
ඩග්ලස් අය්යාගේ කඩේ සුළු සුළු වැඩ සදහා හිටපු ගමන් මා ගෙන්නා ගනී. විශේෂයෙන් ඉරිදා පොල දවසට සෙනග වැඩි නිසා අමතර උදව්වක් මගෙන් ලැබේ. එහෙම දවසට ඩග්ලස් අය්යාගේ බිරිද විත් මා කූද්දාගෙන යයි. මා කවරදාවත් උදෑසන අවදි වුනු කෙනෙකු නොවේ. මා ඇතුලු පවුලේ හැම දෙනාම වාගේ දවල් වනතුරු නිදාගත්තෙමු.  දවස්පහක් ඉස්කෝලේ ගිය පසු සති අන්තය නිදාගැනීමට ලැබෙන අවස්ථාව අප පැහැර නොහැරියෙමු. අනෙක අප කිසිදාක දහම් පාසල්ගියා මට මතක නැත.
මට මගේ කුඩා කාලය සිටම අද දක්වාද 'හාමුදුරුවරු'සමග සම්බන්ධතා තිබේ. ගමේ පොඩි පන්සලේ හාමුදුරුවන් 'හාමුදුරු' කෙනෙක් බව නම් කියත හැක. එහෙත් අනෙක් බොහෝ අය පඩුපාට රෙදි හැදි මිනිස්සුම විය.මේ චරිත ගැන වෙනමම ලිවිය යුතුය. ඒත් ඒක ඒ තරන් හොද දැයිමම තවම කල්පනා කරමි.
කෙසෙ හෝ ඩග්ලස් අය්යා ගිය ගමන් මට කිරි තේ එකක් දෙයි. ඊලගට ලී කුඩු ලිප් වැඩේය. ලීටර් දහයේ තහඩු ටින් එකේ යට අඩියට වෙන්නට කැපූ අගල් දෙකක විතර රවුම තුලින් ඇතුල් කෙරූ යකඩ බටය හා ටින් එකේ උඩින් දැමූ අගල් දෙකක විතර රවුම් යකඩ බටේ එකිනෙක බස්සවා ඒ වටේට ලී කුඩු දමනු ලැබේ. තේ මනියට හීන් ලී කුඩුද,  අනෙක් කෑම වර්ග පිසීමට 'යතු කුඩුද' දමන්නේ ගින්දරේ සැර අඩුවැඩි කරගැනීමටය. හීන් ලී කුඩු වැඩිවෙලාවක් ලා දැල්ලක් සමග පත්තුවන අතර යතුකුඩු ටිකක් වේගයෙන් දැල්වී ඉක්මන් රස්නයක් ගෙනදෙයි. ඉන්පස්සේ තව යකඩ මෝල්ගහකින් මේ ලීකුඩු තලනු ලැබේ. අන්තිමේ ටින් කට මට්ටමට ලී කුඩු තලා හදා ගත් පසු අර රවුම් බට දෙක අයින් කරනු ලබන්නේය. උඩින්හා යට පැත්තකින් ලස්සනට රවුමට සිදුරු හැදෙන අතර, ඒ උඩ සුදුරෙන් ලාම්පුතෙල් ටිකක් වක්කරනු ලබන්නේ ඉකමන් දහනයටය. මේ ලිපේ රස්නය සාමාන්ය දර ලිපකට වඩා වැඩිය අනෙක වැඩි වෙලාවක් පත්තුවෙන අතරම ඒ දිහා බලාඉන්නට අවශ්‍ය නැත. එකම දේ කඩින්කඩ පිච්චී කඩා හැලෙනා අළු අර පහල සිදුරෙන් එලියට ඇදීම පමණි. මේ කඩා හැලීම නවත්වා ගැනීමට ලීකුඩු කොටන විට වතුරු ටිකක ඉසිනු ලැබේ. වතුර ඉහින්නේ අද දවසේ පත්තුකරනා ලිප් වලට නොවේ. ඩගලස් අය්යා ලග මෙවැනි ලිප් හත අටක්ම තිබුනෙන් ඉරිදා දවසේ බාගයක් මෙවාට ගතවෙයි. ඊලගට අර ලීකුඩු මගේ ඇදුමේද කොන්ඩේද ඇස්වලද ගිහින්ය. මා මගේ කැමැත්තෙන් නාන්නේ එදාට පමණි. අනෙක ලීකුඩු ඇග කසන්නේය. කොස් ලී හා සූරියමාර ලීවල කුඩු, ඇග කසන්නට ලක් කරන අතර, කුඹුක් ලීයේ කුඩු නාසයට ගියවිට මිරිස් ගෑවුනා බදුය. එහෙත් මේ ලීකුඩු අනෙක් ලීවලකුඩු මෙන් නොව දැවෙන විට මහා රස්නයක් දෙයි. ඒ නිසා ඩග්ලස් අය්යාගේ නියෝගය වැඩිපුර ඔය කී ලී කුඩු යොදන ලෙසය. මේ නිසා මා කෙලින්ම ඒ ඉඩමේම අපි වතුර ගත් ලිද ලගට දුවමි. කමිසය ගලවා ලිදට යාකොට බැද ඇති ටැන්කියෙන් නාගමි. මේ ටැංකිය ලිද අයිතිකරුවන්ට වෙන්කොට ඇත්තේය. අපේ ආච්චීට ඕනෑම දවසකද, මට ඉරිදාටද, මේ ටැංකියෙන් නා ගත හැක. වෙනදවසක නම් ලිදට උඩින් ගෙදර පිල්කන්ඩියේ සිට කවුරුන් හෝ අක්කා කෙනෙකු 'කොන්ද කැඩෙනකන් වතුර ඇදලා ටැංකිය පිරෙව්වේ උබට මහත්තයා වගේ නාන්න නෙමෙයි..ඇදගෙනනාපං..' කෑගහන්නේය. එහෙම දවසක නා ගත්පසු ආයෙමත් මා ඩග්ලස් අය්යාගේ කඩේ ඇතුලේය. 'සෝ කේස්'එකේ බනිස් ජාති අඩුක් කිරීම, අලියා බීම පාට පාටින් අඩුක් කිරීම, මේස පිහිදැමීම, විස්කිරිඤ්ඤා හා ඥානකතා කට පොඩි ලොකු බෝතල්වලටදැමීම මෙන්ම දවල් අව්ව එනවිට කෙසෙල් කැන් රෙද්දෙන් වැසීම මගේ රාජකාරී වෙයි. අතුගෑමපිගන් කෝප්ප හේදීම හා අස්පස් කිරීම ඩග්ලස් අක්කාගේ රාජකාරියවෙයි. එහෙත් ඩගලස් අය්යා වෙලාවකට අක්කාට නරුමයෙක් සේ බනී..ඒ වෙලාවට අක්කා කෝපයෙන් රතුවී අඩාගෙන යයි. ඒවෙලාවට 'අනේ බං අරකත් ටිකක් බලපන්කො..මේකත් ටිකක් බලපන්කො' කියා ඩග්ලස් අය්යාගෙන් මහා වදයකි. එහෙත් මේ රන්ඩුව ටික වෙලාවකි. අක්කාද ආපහු එන්නේය. ඒ ආවිට ලෑලි පලුවකින් වෙනකර තිබූ තේ මනිය ලග දෙන්නා ' කිචි බිචියකි'. 'නිකංඉන්ඩ අනේ...' කියමින් අක්කා ලෑල්ලෙන් මෙහා මා කොහෙදැයි බලයි. ඒ බැලිල්ලට මා කොහේ අහුවෙන්නද...එවිට මා හැලපයක් හෝ සව්දොදොලක් ගිල හමාරය. අද මේවා මතක් වනවිට දැනෙන සතුට කියා නිම නැත. එහෙත් එදා ඒවා මා කලින් කීවා මෙන් නීරසය, හිත රිදවනසුලුය.
ඩග්ලස් අය්යාගේ දවල් බත කන්නට බොහෝ දෙනෙකු එන්නේය. වැඩිපුර පොලේ වෙලෙන්දෝය.මේ දවල් බත ගැන මට එක මතකයක් තිබේ. එක ඉරිදාවක සෙනග වැඩි වෙලාවක මා අතින් හොදි පීරිසියක් පොලේ වෙලදාම් කල කෙනෙකුගේ ඇගේ ඉහිරුනේය. මේ මිනිහා මට ගහන්නටපැන්නේය. මා දුටුවේ ඒ මිනිහා අත උස්සනහැටි පමනකි. ඩග්ලස් අය්යා උසමහත මනුස්සයෙකි. කට ඊට වඩා සැරය. අන්තිමහරිය දකිනවිට ඩග්ලස් අය්යා ඒ මනුස්සයාගේ බෙල්ලෙන් අල්ලා තාර පාරට තල්ලු කොට හමාරය. ලී මඩුවේ අය්යලා ටිකද නෙක විධ ලී පටි ගෙන පාරේය. කුණුහරුප වැලකි. ඒ හව් අස්සේ අක්කා අලි පිගානකට අලි බත් එකක් බෙදා මාලු උයපුවයින්ද, බැදපුවායින්ද දමා මා ගෙදර පිටත් කලාය. මා ඒ එන අතරේ හිමින් පස්ස බලනවිට ඩග්ලස් අය්යාගේ සරම දනිස්සෙන් උඩය, 'තෝ වේ...පුතා ආයෙත් මගේ එකෙකුට අත තිබ්බොත් බලාගෙනය 'කියා මීක් නැති අර මනුස්සයාව පරඩැලක් මෙන් එහාට මෙහාට සොලවනු දැක කොහේ හැන්ගෙන්දෝ කියා ගෙදරම දිව්වෙමි.

7 comments:

  1. මේ බ්ලොගර් අඩවිය ගැන තවම කවුරුවත් දන්නේ නෑ වගේ. මමත් අහම්බෙන් හොයාගත්තේ.

    බොහොම රසවත් කතා පෙළක්. මේ වගේ ජීවිත අත්දැකීම් ඒ කාලේ අරුගේ අඩවියෙන් කියෙව්වා. මොහොම සමානකමක් තියනවා.

    ReplyDelete
  2. පට්ටයි ....දැං ඉදං දාන පොස්ට් ඉස්සෙල්ලම බ්ලොගර් අඩවියට දාන්ඩ , පස්සේ බැරියැ වර්ඩ්ප්රෙස් එකට දාන්ඩ , මෙතුවක් දාපු පොස්ට් ටිකත් , පරන දින දාල මේකට කොපි පේස්ට් කරන්ඩ , බ්ලොගර් ෆලෝවරය දාන්ඩ .... මෙහ් මේ දැම්ම , අර අරෑ අයියා වාගේ දෙකක් කරන්ඩ ගිහිං ඔක්කොම නැති කරන්ඩ නං එපා රජෝ .....බ්ලොගර් එකට ප්‍රමුකතාවය දෙන්ඩ

    ReplyDelete
  3. ආප්ටඇප්රුවල් අයින් කරන්න

    ReplyDelete
  4. අඩේ මාත් කුඩු ලිපට කුඩු කොටල තියනවා , ගෙදර ලිපකට හැබැයි ...පට්ට ආතල් වැඩේ

    ReplyDelete
  5. කොපි පේස්ට් කරලා හරි බ්ලොගර් වලට ආපු එක ලොකු දෙයක්.අර මඟුලෙ පෝස්ට් කීයකට කොමෙන්ට් දාන්න හැදුවද? බෑ නෙව.
    දැන් හරි.
    මේ ලියන රටාවට දැනෙන්නෙ අඩියක් ගහන ගමන් කයියක් ගහනවා වගේ... ෆිට් එකක්.
    ජයවේවා..!!

    ReplyDelete
  6. අනේ මාමේ... මේ කොලා වගේ ෆලෝවර් ගැජට්ටුවත් එල්ලලා දෙන්නකෝ..

    ReplyDelete
  7. තාම එකයි කියෙව්වේ, නියමයි...

    ReplyDelete