Thursday, October 20, 2016

ඇය අප හැර ගියාය.. 5

සීයා වැඩකල රජයේ කර්මාන්තශාලාවේ පැන්ෂන් පඩිය ගැනීමට අම්මාත් සමග යන හැමවෙලාවෙම වාගේ මට අම්මා "ඔයත් යං.." කීවාය. එදාට පාසල් දවසක් වූවත් අම්මා එවා ඒ තරම් නොතැකුවාය. එහෙම දවසකටවත් පොඩි එකා වන මට බඩපිරෙන්නට පමණක්ම නොව හිත පිරෙන්නට කන්නට අරන් දීම ඇගේ අහිංසක බලාපොරොත්තුව විය. ඉගෙනීම උදෙසා ඇය අපව ලොකු ඉස්කෝලවලට දැම්මාය. එ ගැන වෙනම ලිවිය යුතු වේ. එහෙත් මෙවැනි දවසක් ඇය පැහැර නොහැරියාය. එවන් දවසක් මටද වෙන කිසිම කෙහෙල්මලකට වඩා වැදගත් නුවූයේය. ආච්චී සාරියක් අදිනු දැකිය හැක්කේ එවන් දිනක පමණි. ඈ හැමවිටම දිගම දිග ගවුමක් වැනි දෙයක් ඇන්දාය. එහි එදිරියෙන් දිගටම බොත්තම් තිබූ අතර මට මතක හමදාම ඈ ඇන්දේ ලා නිල් පාටය. සුදුම සුදු ඈ ලා නිල්පාට ගවුමට තවත් සුදට පෙනුනාය.ඇගේ පරම්පරාව අස්ගිරියේ රත්‍රං බඩු සෑදීමේ ව්‍යපාරයක් කල බවමා අසා ඇතත් ඈ හැමදාම ඇන්දේ ඉමිටේෂන් පබලු මාලයකි. පැන්ෂන් ගත් පසු එකල දැන් නොලිමිට් රෙදි සාප්පුව තිබෙන තැන තිබූ හෝටලයෙන් අපි බනිස් මාලුපාන් කා කිරිතේ බීවෙමු...මාලුපාන් එකක් කා තේ එකක් බිවූ අම්මා දූලා "අපට නං බඩ පිරිළා" යයි කී බොරුව මට එදා තේරුනේ නැත. එහෙම මොලයක් ඒ කාලේ තිබුනානම් මම බනිස් ජාති සියල්ලම ගිල දමා ෆලූඩා එකකුත් බී බී රජෙක් වගේ ගෙදර එන්නේ නැත.(ෆලූඩා තිබුනේ තැපැල් කන්තෝරුව මෙහා පැත්තේය. සල්ලි ගත්ත ගමන් මා එහි උස බංකුවක තනියම ෆලූඩා රසවින්දෙමි. එකලත් මට මහලොකු "මැනර්ස්" කියා ජාතියක් තිබුනේ නැති බැවින් එක උගුරක්වත් ඕනෙදැයි ආච්චීගෙන්වත් අම්මාගෙන්වත් නොඇසුවෙමි.) ආච්චීගේ පැන්ෂන් දවස පමනක් අපට රජමගුල් විය. එදාට ලොකුවට කැපුණු කුකුළ් මස් කරිය, අල තෙල්දාලා හා තව මොකක් හෝ එළවළුවක් ලැබෙයි. ඊලග මාසේ වනතුරු මේ හොදි ව්‍යංජන වල සුවද අපට මතක තිබේ. එ මතකය සමග අපි හමෝම බත් තම්බා එක හොද්දක් සමග කෑවෙමු. අපේ ආච්චී අපේ අම්මා හා දරුවන් මත්තේ නැහී මියගියාය. ඈ මැරෙන්නට හේතුව අපේ තාත්තාගේ නොමනා බව මම අදද සිතමි. පවුලේ බොහෝ අය අම්මා මෙන් " ඔය ගිය දේවල් ගියා ..දැන්වත් ඕවා අමතක කරන මෙන්" කීවත්, මගේ සිත ගලක් මෙන් තාත්තා වෙනුවෙන් උණුවෙන්නේ නැත. ආච්චී සීයා හදාවඩා ගත් එකතුකරගත් සියල්ල බෑනාට දුන්නාය. බෑනා තමන්ගේ සකල සබ්බ මනාවම ඉවර කල පසු නුගේගොඩ දේපල උකස් කරේ අප හැමටම හොරාය. අවසානයේ අපේ ගෙදරම කුලී කාරයෝ වූ අපි යන්තමින් අටවාගෙන හෝමාගම ඈත ගම්බද තැනකට ගියෙමු. ඒ යෑම ආච්චී සහමුලින්ම ලෙඩ කලේය. දිනෙන් දින අසනීපයට පත්වූ ආච්චී අවසාන කාලයේ අවසිහියෙන් මෙන් නුගේගොඩ යන්නට දැගලුවාය. අවසානයේ ඇය අප කිසිවෙකු හදුනානොගෙන අවසිහියෙන් මෙන් අන්තිම හුස්ම ගත්තාය. මොකක්දෝ හේතුවක් නිසා එදා ඇගේ අත්ල සුදු අත්වැසුමකින් වසා නොතිබූ හෙයින් අර කුරුස පච්චය අදද මලගෙදරක යන හැම විටම මට මතක් වෙයි.

No comments:

Post a Comment