Thursday, October 20, 2016

බිත්තර මදර් 6

මා පළමුවෙන්ම පාසල් ගියේ හන්වැල්ලේ රෝමානු කතෝලික පාසලටය. ඒ කාලය පිළිබද මට බොහෝ "මතක" තිබේ.එකක් නම් පාසලට අල්ලපු වත්තේ කන්‍යාරාමයයි. ඒ කාලයේ ඒ කන්‍යාරාමයේ ගොඩනැගිලි මහා විසාල ලෙස මට පෙනුනේ මන්දැයි මම නොදනිමි. ඒ ගොඩනැගිලි මැදින්...මහා දොරවල් මැදින් ස්නේහයේ දේවතාවියන් වැඩියාය. මම එකේ පන්තියේ තරම් ඇති කාලයේ උදේට කැද වීදුරුවකුත්..දවල්ට බනිස් ගෙඩියකුත්..කිරි වීදුරුවකුත් ලැබේ . ඒවා ලැබුනේ සමහරවිට රජයේ අනුග්‍රහයෙන් වන්නට ඇත. බඩගින්න ගැන හැමදා ලියන්නට වීම එක අතකින් හොද දැයි නොදනිමි.එහෙත් බඩගින්න මගේ නම් ජීවිතයහා බැදී පවතී. ඒ නිසා ඒ ගැන නොලීවොත් මගේ ජීවිතයෙන් අඩක් ගැනම ලියන්නට වන්නේ නැත. කෙසේ හෝ අක්කාත් මාත් පාසල නිමා වන තුරු සිටින්නේ නොවසිල්ලෙනි. අප දෙන්නාම පාසල් ඇරුනු වහාම හොර පූසන් සේ කුරුමානම් අල්ලන්නේ වැටෙන් එහා පල්ලියේ "බිත්තර මදර්" අප දකින තෙක්ය. ඇය බිත්තරයක් වැනිම සුදෝ සුදු වූවාය....බිත්තරයක් වාගෙම වටකුරු මුහුණක් ඇති වචනයේ පරමාර්ථයෙන්ම දේවතාවියක් වූවාය. ඈ අප බිත්තර මදර් ලෙස හැදින්වූවේ ඇගේ පාටවත් මුහුණේ හැඩයටවත් නොවේ..ඇගේ පංගුවෙන් අඩුකර අපට බිත්තරයක් නොවැරද්දුවාය. පොඩි කාලේ හොදට කෑවේ නැත්නම් ලොකුවෙලා මහත්තයෙක් වුනාම මාව අමතක වෙයි..ඇය කීවාය. කීවා ලෙසම මම ඇය බීපු වෙලාවක- වැඩිවුණු වෙලාවක... මතක් කර කර හිටියා මිස ඇයට අපව මතකදැයි බලන්නට හෝ කාලයක් වෙනකර නොගත්තෙමි. ඇඩුම තරමේ මට මතක තිබේ කියන්නටවත් අවුරුදු හතළිකට පසුව වත් එහි නොගියෙමි. මගේ මතකය හරි නම් මා පළමුවැනි ඇපල් කෑල්ලක රස බැලුවේ එහිදීය. (මේ ලගකදී මොස්කව් නුවර මහා වත්තක රතු ඇපල් ගහෙන් කඩාගෙන කා , කොහෙන්දෝ ආ කුපාඩි කමකට ගැට ඇපල් වලින් ක්‍රිකට් ගැහැවෙමු.එහෙත් එදා ඇපල් කෑල්ලක් මහා නිධානයක් විය.) අපි දෙදෙනා උදේ සිට හවස් වන තුරු පල්ලියේ කාලය ගෙවූවෙමු. මේවා අක්කාට දැන් මතක ඇත්දැයි මම නොදනිමි. එහෙත් බිත්තර මදර් අපට ඉංග්‍රීසි කියා දුන්නාය.. බත් කැව්වාය... පැණිරස කැවිළි අර දිගු සුදු ඇදුමේ සාක්කුවල සගවාගෙන විත් දුන්නාය. අද වන තුරු ඇයගේ නමවත් මා දන්නේ නැත. මේ කතාව "දෙකක් දාගෙන " හිටපු වෙලාවක මගෙන් අසාගත් මිතුරෙක්..'අපෝ ඔය සිස්ටම් එකේ හැටි..අන්තිමේ උඹලා වගේ එවුන් ආගමට ගන්ඩ තමයි ඔය...'කීවේය. එහෙත් ඇය කිසිදිනක අපට එහෙම කිව්වේ නැත. එහෙම දැනෙන්නටවත් ඇරියේ නැත. පල්ලියට අපි ගියා මිසක අපට එන්නට කීවේ නැත. ජේසුන් ගැන හෝ දෙවියන් ගැන කීවේ නැත. එය "සිස්ටමැටික් ප්ලෑනක්" වූවාට වුවත් මට කම් නැත. එහෙත් කිසිම ප්ලෑනක් නැතිව ඇය අපට දුන්නේ ආදරයයි..සෙනහස අනුකම්පාව පිළිබද සොදුරුම පාඩමයි. ඇය තවම ජීවතුන් අතර නම් ඇය වියපත් ව ඇති බව සිතමි. එහෙත් ඇය ඈ පැතූ ලෝකය සාක්ෂාත් කරගෙන ඇත්නම් ඇය දෙවියන් පසෙක ඉද අප දෙස බලා සතුටු කදුලු වගුරන බව දනිමි. "සිත්" ඇති අයගේ හැටි එහෙමය...

No comments:

Post a Comment