Thursday, October 20, 2016

සුදු අක්කා 14

ගමේ සිටි කෙටි කාලය තුල අපි ගෙවල් කිහිපයකට මාරු උනෙමු. සීයලාගේ ගෙදර වරක්ද ඊට අමතරව කුලී ගෙවල් කිහිපයකද අප නවාතැන් ගත්තෙමු. මේ සමහර නවාතැන් මට මතක නැත. ඒ මා කුඩාම නිසාවෙනි. කෙසේ හෝ මට මතක එක තැනක් තිබේ ඒ හන්වැල්ලේ පොලීසිය ඉදිරිපසම කුඩා තේ කඩයක හිමිකාරිණියට අයත් කුඩා නිවසයි. ඇත්තෙන්ම එය කුඩා නිවසක් නොව ඔවුන්ගේ මහ ගෙයින් බෙදා වෙන්කල පිටුපස කොටසයි. අපට ඇතුල්වන්නට තිබුනේද මේ ගෙයි කුස්සිය පැත්තෙනි. මට මතක මෙහි අපි කුප්පිලාම්පු එලියෙන් කෑම බීමේ සිට වැසිකිලි යාම දක්වා සියලු දේ ඉටුකරගත් බවයි. විශාල වත්තක් මැද්දේ අදුරු රුක් ගොමුවක පිහිටා තිබූ මේ නිවස තුල අප මීයන් මෙන් ජීවත් උනෙමු. ගෙහිමි කාන්තාව ලමයින් හයකට හතකට මෙහි නවාතැන් දීම මුලින් ප්ර තික්ෂේප කලාය. ඒ නිසා අප කෑ නොගසා සද්ද නොකර සිටීමේ පොරොන්දුව මත එහි පදිංචි වූයෙමු. අපට කුස්සිය හා කුඩා කාමර දෙකක් බෙදා වෙන්කොට දුන් අතර එහි කුලිය ඉතා සුලු මුදලක් විය. එ මුදල පවා සමහර මාසවල නොදුන් බැවින් කිහිප වරක්ම අපට ඉන් ඉවත්වන ලෙස කියුවද, කෙසේ හෝ මේ මුදල් පියවීමට අම්මා සමත් වූවාය. කුලී නිවස හිමිකාරිණියට මට වඩා අවුරුදු දහයක් හෝ පහලවක් වැඩිමල් දියණියන් දෙදෙනෙකු සිටියාය. ඉන් එක් අක්කා කෙනෙකු සුදු අක්කා ලෙස හැදින්වූ බව මට මතකය. අනෙක් අක්කා ඉගෙනිමට දක්ෂ බැවින් ගෙදරටම වී පාඩම් කලාය. සුදු අක්කා ලස්සන නිසා ඇය තේ කඩයේ වැඩට ඇගේ අම්මා සමග ගියාය. එකල පොලීසියේ සිටි හැමෝම වාගේ තේ තිබහකට නැතත් තේ කඩේ වේල් තුනටම තේ බී කාරනය මට එකල වැටහුනේ නැතත් දැන් තේරුම් ගන්නට පුලුවන. මේ නිසාම තේ කඩේ ආදායම සරු විය. ඒ නිසා උදේ ඉදිආප්ප අලහොදි හා හාල්මැස්සන් බැදුමද, තේ වලට හැලප ලැවරියා හා වන්ඩු ආප්පද උණු කැවුම් මෙන් විකිණී ගියේය. මේ වෙලදාම නිසා ගෙදර නිකන් ඉන්නා විට සුදු අක්කා මටද කතා කරයි. කඩේ පොඩි පොඩි වැඩ පැවරෙන්නේ මටය. තේ වෙලාවට පොලීසියේ රාජකාරි කෙරෙන්නේ සුදු අක්කාගේ කඩ පිලේය. සුදු අක්කා ගැන උවමනාවක් නැති පොලීසියේ අනෙක් අයට තේ , හැලප ලැවරියා රැගෙන යන්නටත් ඕ අයි සී මහත්තයාට වෙනම තේ රැගෙන යන්නටත් මට පැවරෙයි. එකලපවා ගමේ එවුන් මහා බයක් ඇතිකරගෙන තිබූ පොලීසියේ මම මහත් නිදහසේ ඇවිද ගියෙමි. 'ලොකප්' එකේ ඉන්නා වෛවාරණ මිනුසුන්ට වතුර ඇද්දෙමි. එකල එහෙම ඉන්නා අයටත් තේ කෝප්පයක් ලැබුණු හෙයින් අතිරේක ලෙස ඒ වැඩද බාර විය. කෙසේ හෝ පොලීසියේ නිල ඇදුම් ඇදි සියල්ලනටම වාගේ මටද තැනක් තිබුනේය. මොකක් හෝ හේතුවකට මේ නිල ඇදුම් අස්සේ සිටි 'මිනුසුන්' මට ආදරය කලේය. කාන්තා නිලධාරිණිය මට හැම දාම ගෙදර ගෙනයාමට 'හාෆ්ෂීට්, කාබන් කොල, පෑන් ෆයිල් කවර' ආදී පොලීසියේ දේපල දුන්නාය. නමුත් රිමාන්ඩ් 'කූඩුව පැත්තේ හෝ පිරිමි ක්වාටර්ස්' පැත්තේ විනාඩි කිහිපයකට වඩා ගැවසෙන්නට නොදුන්නාය. මා විනාඩි කිහිපයක් හෝ දකින්නට නැති විට මා සොයා ඈ රාජකාරි මේසයේ සිටම කෑ ගැසුවාය. මේ වන විට ඈ කොහේ හෝ සිය විශ්රා්මික දිවිය ගෙවනවා ඇත. පොලීසියේ එකලද හිටපු ගමන් මහා කාලකෝලාහල සිදුවෙයි. එදත් චණ්ඩින් ඇවිත් පොලීසිය දෙවනත් වන්නට කෑ ගැසූ හැටි මට හොදට මතකය. ඒ අය පහුවෙනිදා අතපය වෙලාගෙන තව දෙතුන්දෙනෙකුගේ පිහිටෙන් මුලු පොලීසියෙන්ම සමාව ගනු ඊටත් වඩා හොදට මට මතකය. එහෙත් මා මතක් කරන්නට අකමැතිම කාරණය නම්, මේ හැම සිදුවීමකම, කෑගැහිල්ලක, ඝෝෂාවක ඇස් කදුලෙන් තෙමුණු, එහෙන් මෙහෙන් පටලවා ගත් ඇදුම් කඩමාල්ලක ගිළුණු, පොලීසියේ නිල ඇදුම්වලින් එල්ලවන ඝර්ජනා වලින් සැලුණු ආච්චිල අම්මලා බිරින්දන් ආදී ගැහැණු ඇස් කෙවණි වල අගින් කඩා හැලෙන සෙනෙහසේ දුක්ඛ කදුලු කැටය. බොහෝ වෙලාවට මා වැඩ නවත්වා මෙදෙස බලා සිටිමි. රස්තියාදුකාරයෙකුගේ නොමනා වැරද්දකට පොලීසියේ හැඩි දැඩි අතක් එසවෙන හැම විටම මේ ඇටසැකිලි වල ගිලිණු ඇස් වලින් කදුළු කැට කඩා වැටුනේය. ඒ ගහන හැම පාරකම ඒ ඇටසැකිලි තිගැස්සෙන හැටි බලා සිටීම අමාරුය. සමහර විටෙක මේ රස්තියාදුකාරයා කාට හෝ අහින්සයෙකුට ගහන්නට ඇත්තේ මීටත් වඩා දරුණු ලෙස වන්නට පුලුවන. ඒ වුව ' අනේ අම්මේ මට ගහන්නට එපා කියන්නැයි' කෑ ගහද්දී අම්මා කෙනෙකු කරකියා ගන්නට දෙයක් නැතුව බලා සිටින විදවූ හැටි බලා සිටීමට සිදුවීම අදද මා කම්පා කරයි.

No comments:

Post a Comment