Thursday, October 20, 2016

බටර් තමයි බටර්....

imagesවිජේරාම හන්දියට කලින්, නුගේගොඩ පැත්තට වන්නට පාර අයිනේම අම්මාගේ තවත් නෑදෑයෙකුගේ ගෙවල් තිබුනේය. අම්මාට මේ අයගේ ඇති නෑදෑකම කුමක්දැයි මම දන්නේ නැත. එහෙත් අප කියන්නන් වාලේ මහප්පා හා නැන්දා කීවෙමු. මේ මහප්පා ආණ්ඩුවේ කොහේ හෝ තැනක රාජකාරි කොට විශ්‍රාම ගොස් සිටි අතර නැන්දා රස්සාවක් කල බවක් මා අසා නැත. මහප්පා එකතරා විදියක 'අතිපණ්ඩිතයෙකු' බව මට දැනී තිබුණෙන් කිසිම විටක ඒ ගෙවල් පැත්තේ යාමට මම අකමැති වුනෙමි. ඔහු හැමවිටම ඉංග්‍රීසි පත්තරයක් අතේ තබාගෙන හාන්සිපුටුවක කල්පනා බරිතව උන්නේය. අපි කවුරුන් ඒ ගෙදරට ගොඩවුනද ඔහු පුටුවෙන් නැගිට්ටේ නැත. එහෙත් ඔහු තම ඥාතියා වන අපේ අම්මාට 'ආ ...ඔන්න කුස්සිය පැත්තේ ඇති ..' කියා නැන්දා ඉන්නා තැන කියන්නේය. මේ කියමනටම මම එදා අකමැති වුනෙමි. මම එකල පොඩි එකෙක් වුව ඔහු අඩුම ගනනේ අම්මාට ඉදගන්නටවත් නොකීම ගැන මගේ හිතේ කහටක් තිබුණේය. අනෙක ඔහුගේ පොත් රාක්කය පැත්තට මා යනවිටම 'හා හා ඔවා වැදගත් පොතපත' කියා මට 'සද්දයක් ' දැමීමද මට ඇල්ලුවේම නැත. අම්මා මේ නැන්දාට කතා කලේ කෙසේදැයි කියා මතක නැත. මේ නැන්දා කිසිදා සාරියක් නොඇද වෙන ඇදුමක් අදිනුද මා දැක නැත. ඇය කුස්සියටත් ඇන්දේ සාරියය. ඇයට තිබුනේ අපේ ආච්චීගේ පරම්පරාවේ පැහැපත් හමක් මෙන්ම ඒ පරම්පරාවේ ආඩම්බර නපුරු පෙනුමකි. මේ නැන්දා මහප්පාට වඩා ටිකක් හොද වුවත් අම්මා මා කැටුව එහි යන හැමදාකම අලි ඉදුල් භාජන කන්දක් හා රෙදි කන්දක් හෝදන්නට ලැහැස්ති කොට තිබුනේය. එය ඒ දෙදෙනා විසින් කතා කරගත් සම්මුතියක් වන්නට ඇත. අම්මා මටද කුස්සියේ වාඩිවෙන්නට කියා අර හේදිල්ල පටන් ගනී. ඒ අතරේ නැන්දා තවත් පුටුවක ඉදගෙන තාත්තා ඇතුලුව බොහෝ දෙනෙකුගේ 'රෙදි හෝදා' ඉවර කරයි. අම්මා සාරි පොට ඉනේ ගහගෙන එකෙන් එක අර කී ඉදුල් කන්ද පාත් කරනා විට අම්මාගේ මූණ තවත් කලුවෙයි. තම ඥාතියාගේ ඉදුල් හේදීමට සිදුවන්නේ තාත්තාගේ නොමනා කම නිසා බව අම්මාට කියන්නට කටක් තිබුනේ නැත. ඇය සියල්ල එසේම විද දරාගත්තාය. ඉදුල් කන්දෙන් පසුව විසාලෙට හැදූ නාන කාමරේ බේසං හා බාල්දි වල දැමූ කිළුටු හෝදා ඉවරවෙනතෙක් මමද ඒ අසල ඉමි. අම්මා මේ කිළුටු කන්ද හෝදා ඉවර වී දිගු සුසුමක් පිටකලාය.
ඒ සුසුම මගේ හදවතේ තැනක හිරවී ඇත්තේය. මෙවන් සුසුම් සහ නානාප්‍රකාර දුක්, බැනවැදිලි, ගුටි, හා අඩන්තේට්ටම් හිරවී ඇති ඒ නහරය දිගේ තාත්තා නැමැති සෙනෙහස් නහරයට ලේ දුවන්නේ නැත. එය මට මහා කරදරකාරී සිතිවිල්ලකි. එකල මා තරුණම වියේදී මෙවා මා තලත්තෑනි වූ පසු මග හැරේ යන සිතිවිල්ලෙන් උන්නෙමි. එහෙත් අදටත් ඒ නහරය හිරවී ඇත්තේය. කාලය සියල්ල විසදාදෙනු ඇත. සමහරවිට කාලයම හරස්වනු ඇත.
කෙසේ හෝ අම්මා වැඩ ඉවර වූ පසු තේ හදන්නීය. තේ ලැබෙන්නේ කුස්සියේ කුඩා මේසයේය. සාලයේ මේසය උඩ ලොකු ඇම්බුං ඇවරියක්, ක්‍රීම් ක්‍රැකර් පෙට්ටියක්   තබා ඇත්තේය. ඒ අතරේ හතරැස් වීදුරු බදුනක දැමූ බටර් කුට්ටියක් තිබේ. ඒ බදුනේ බටර් කුට්ටිය බාගයක් වැහෙන්නට වතුර දමා තිබේ. මේ කුමක් සදහාදැයි මම නොදනිමි සමහරවිට කූඹින්ගෙන් බේරාගන්නට වන්නට ඇත. අම්මා තේ හැදූ පසු මහප්පාගේ තේ සාලේ මේසෙටද අපේ තේ කුස්සියටද ලැබේ. සාලේ මේසෙන් අම්මාටත් මටත් ක්‍රීම් ක්‍රැකර් පිරීසියක් ලැබෙන්නේය. එහෙත් අම්මා කුස්සියේ සිට ඒවා කන්නේ නැත. ඒ සියල්ල මට දී..' ඉන්න මං මහප්පා එක්ක ටිකක් කතා කොට එන්නං' කියමින් නැගිට යන්නීය. අර පණ්ඩිතයා ඇම්බුං ගෙඩියක් කඩාගෙන ක්‍රීම් ක්‍රැකර් එකක් කකා අම්මාට බන දේසනා කරන්නේය. අම්මා කතාව ඉවරවෙනතුරු හූමිටි තියන්නීය. ඉන්පස්සේ ඒ ගෙදර ඉතුරු වී ඇති එළවළු හාල් තුනපහ සියල්ලම අපේ අම්මාට වෙන් කෙරෙයි. මේ සමහර දේ පහුවෙනිදා අපේ කක්කුස්සිය එහා පැත්තේ කුණුගොඩේ තිබුණද අම්මා ඒවා බාරගන්නේ ස්තූතිපූර්වකය. අන්තිමේ නැන්දා අම්මා අත කීයක් හෝ මිටමොලවන්නීය. අම්මා ඒ කීයක්දැයි බලන්නේ නැත. අප දෙදෙනා අර ඇම්බුං මේසේ පහුකරගෙන ඉන් පිටව යන්නෙමු.
එහෙත් මගේ හිත තාමත් අර බටර් කුට්ටියේ නතරව ඇත්තේය. අම්මාට ඒ බව කියන්නත් බැරිය. ඇයට කීවොත් ඇය අනිවාරයෙන්ම කොල්ලා ආසා බව නැන්දාට කියනු ඇත. එවිට අර පණ්ඩිතයාද දැනගනු ඇත. ඒ නිසා මගේ ආසාව අම්මාට නොකිව්වෙමි. එහෙත් මට බටර් ගා ක්‍රීම්ක්‍රැකර් එකක් කෑමේ ආසාවක් තිබේ. එදා ඒ ගෙදර සාලේ මේසය උඩ දමා ආ මගේ හිතද තවම එතැනය. අනෙක් සති අන්තය තෙක් ඉවසා සිටියෙමි. ඒ අතරේ නැන්දා තම අබාධිත පුතාද ඇවිද්දවීම පිණිස අපේ ගේ ඉස්සරහින් ගියාය. එවිට අර මතකය අලුත්වෙයි. කෙසේ හෝ අම්මා මා කැටුව ඊලග සතිඅන්තයේද එහි ගියාය. කැටුව ගියා නොව අම්මාට කලින් මා එහි ගියෙමි. වෙනදාට එහි යන්නට කන්කෙදිරි ගානා මං අද කැමැත්තෙන්ම ඒම ගැන අම්මාට නිච්චියක් නැත. මෙවරද එකම චරියාවයමය. එහෙත් අර බටර් දැමූ බදුනේ,  වතුරේ දියවෙමින් ඇත්තේ ලුණු කැටය. ලුණු කැට දමනු ලැබූ කොල්ලාගේ බලාපොරොත්තුව බටර් නරක්වීමය. එකල ඒ කොල්ලා ලුණු දමා කෑම කල්තබාගන්නා හැටි නොදැන සිටියේය. අනෙක ඒ කොල්ලා පිටින් පෙනෙන අහිංසකයා නොවන වග එදත් කවුරුවත් දැන සිටියේ නැත. එහෙත් ඒ කොල්ලාගේ වාසනාව එදා යලි මතුවන ලද්දේය. මහප්පා කට ගෑ සැණින් බටර් ගෑ විස්කෝතුව විසිකලේය. නැන්දාට කතා කොට බටර් කුට්ටිය නරක් වී ඇති බව බලන ලෙස අනකලේය. නැන්දාට අනුව බටර් කුට්ටිය නරක් වී ඇත. එහි ඇඹුල් රසක් තිබේ. මට සතුටුය. ඊටත් වඩා ඒ බටර් කුට්ටිය එහෙම්පිටින්ම අම්මාගේ කළමනා මල්ලේය. ඊලගට අපේ ගෙට උඩින් ඇති 'ඩයස් බඩාගේ' කඩෙන් ගෙන ආ රෝස්පාන් වල බටර් ගා සීනී තවරා මගේ කෑදර බඩ ඇතුලේය.

No comments:

Post a Comment