Thursday, October 20, 2016

පඩි දවස

 images
නුගේගොඩට පදිංචියට විත් වැඩිකලක් යන්නට පෙර තාත්තාගේ රස්සාව ටික දවසකට ආයෙත් නැතිවිය. ටික දවසකට කීවේ, ඒ අපේ තාත්තාගේ හැටිත් තාත්තා රස්සාව කෙරූ තැන ලොක්කන්ගේ හැටිත්ය. තාත්තා රක්ෂණ සමාගමක ලිපිකරුවෙක් විය. මා දන්නා තරමට ඒ කාලයේ ලිපිකරුවෙක් යනු ගැම්මක් ඇති රස්සාවකි. තාත්තා ඒ කාලයේ ජීවිත රක්ෂණ කොටස බාරව හිටි බව මට යන්තමට මතකය. තාත්තා සැම විටම ලොක්කන් සමග වාදයට ගොස් ටික දවසකට රස්සාව නැතිකරගනී. එහෙත් තාත්තා නැතිවත් බැරි කෙනෙක් නිසා ආයෙත් එන්නට කියා වැඩ ගනී. තාත්තා කවමදාකවත් යාප්පු වී හෝ කිසිවෙකුටවත් වැද වැටී රස්සාව ගත්තේ නැති නිසා ආපහු වැඩට ගියද ලොක්කන්ව සතපහකට ගනන් ගන්නේ නැත. එහෙත් ලොක්කෝ තාත්තා කොපමණ කෑකෝ ගැසුවද එවා ඒතරම් ගනන් නොගනිති.
මේවා මා දැනගත්තේ තාත්තා සමග හැම මාසයකම පඩි දවසට දවසට 'වැඩට' යාමෙනි. මාසේ හැම පඩි දවසකම අම්මා මා උදෙන්ම කූද්දයි. ඒදාට මට ඉස්කෝලේ නැත. එදා මගේ ජීවිතයේ හොද නරක මිශ්‍ර දවසකි. ඉතින් තාත්තා මා කැටුව දෙල්කදින් බස් එකට නගින්නේය. අප දෙන්නා අතර කතාවක්ද නැත. එකල මා බස්වල ගමන් ගිහින් නැති ගොඩයෙකි. ජනෙලයක් ලග අසුනක් හමුවන තෙක් මගේ හිත ඉවසිල්ලක් නැත. එකල එකල උපාලි කන්නගර පදිංචි වී සිටි දෙල්කද දෙමහල් නිවස ඉදිරිපිටින් පිටින් ගන්නා පටන් ගන්නා බස් රථය හෙමින් හෙමින් ඉදිරියට ඇදෙයි. දෙල්කද ඇල පහුකරන් ගම්සබා හන්දියට යනවිට මා නින්දේය. ඉන්පසු මා ඉන්නේ සිහින ලෝකයකය.
ඊට කලින්දා හවස දෙල්කද ඇලේ බැස ගෙදර ඇතිකෙරූ 'ෆයිටර්ස්' මාළුවන්ට කන්න දෙන්නට පනු පොකුරු පොල්කටුවල දාගෙන ආ මම බස් එකක නැගී කොළඹ යන එක එදවසත් මට අරුම පුදුමය. දෙල්කද ඇලේ සාරිගප්පින්, කෙකටිය හා පණු පොකුරු අද දකින්නට නැත. මේ සටහන ලියන දවසේද ඒ ඇල උඩින් මගේ ලොකු පුතා අමතර පන්තියකට ඇරලවන්නට ගියෙමි. ඔහු ඒ වෙලෙ කන පිරෙන්නට බටහිර සිංදුවක් දමාගෙන කොහේදෝ ලෝකයක උන්නේය. වාහනය පාලම උඩ නවත්තා කොල්ලාව ඇදගෙන ඇලට පැන පණු පොකුරු පෙන්නා 'උබේ තාත්තා තුනේ පන්තියේදී විතර මේ ඇලේ දනක් මඩේ එරී කෙකටියා කැඩූ වග, පණු පොකුරු ඇල්ලූ බව කියන්නට හිතුනත් 'ඉකේ ඔයා එවත් කලාදැයි' දැන් කුණු ඇලක් වී ඇති එදෙස බලා අහනු ඇති බව සිතුනෙන් එදා මෙන්ම මගේ සිහින ලෝකයේ තනිවුනෙමි.
අවුරුදු අටක විතර කොල්ලෙකු කොට කලිසමක් හා පාට කොටු කමිසයක් ඇද හමගිය සපත්තු දෙකක්ද දාගෙන, හීන්දෑරි උස සුදු කලිසම් කමිස හැදි මිනිසෙකු සමග කොළඹ අහසේ ඇස් යොමාගෙන උපෙන්තේකට කොළඹ ඇවිත් නැති එකෙකු සේ ගමන් කරනා අයුරු මේ කියවන ඔබට මතක් කරගන්නට පුලුවන්ද..? මේ කොටසට මා තවම කැමැතිය. ඒ අපේ තාත්තා මා අතින් අල්ලාගෙන පරෙස්සම කල එකම දවස නිසාය. එහෙත් ඒ පරෙස්සම නැති වන්නට විනාඩියක් යන්නේ නැත. දැන් නවලෝක ඉස්පිරිතාලේ පිවිසුමත් තාත්තාගේ කාර්යාලයත් මැද ඉඩකොටසේ කඩපේලිය මැදින් පටු පාරක් ඇත්තේය. තාත්තා කාර්යාලයට යන්නේ මේ කෙටි පාරෙනි. ඒ පාරේ හරිමැද අදුරු ගුහාවක් වැනි තැනක මා නවත්වා 'කොහෙවත් නොගිහින් ඔහොම ඉන්නැයි' කියා ඒ අදුරු ගුහාවේ අතුරුදන් වෙයි. ඒ කාලය ඉතා කෙටිය. තාත්තා ඒ අදුරු ගුහාවෙන් මතුවන තුරු මම එදෙස ගුප්ත හැගීමෙන් බලා සිටිමි. විනාඩියක් යන්නේ නැත තාත්තා මතුවෙයි. 'හා යං' කියයි. ඒ ගමන් මගේ අතේ උම්බලකඩ කෑල්ලක් තබන්නේය. තාත්තාට මේ උම්බලකඩ කෑල්ල ගෙනෙන්නට මේ තරන් හදිසියක් ඇයි කියා මා එදා සිතුවෙමි. අනෙක තාත්තා පවු කියාද මට හිතුනේ මට උම්බලකඩ කෑල්ල දී යන මග දිගට කාරා කෙල ගහන දෙස බලා සිටීමෙනි. අන්තිමේ අපි දෙන්නා කාර්යාලයට යන්නෙමු.
තාත්තා ඔහුගේ මේසයේ මෙපිට පුටුවකින් මා ඉන්දවා සුදුකොල දුසිමක් විතර දෙන්නේය. එදා දවසම මා මේ හාෆ්ෂීට්, කාබන් කොල, අනේකවිධ පෝරම කොල සමග ගෙවන්නෙමි. වටපිටේ තාත්තාගේ යාලුවෝ මගේ ඔලුව අතගා විස්තර අහති..මට සීනී බනිස් සමග උණු තේ කිහිපවරක්ම ලැබේ. තාත්තාගේ 'යාලු ඇන්ටිලා' මට දවල් කෑම කන්නට එක්කාගෙන යයි. මාලුපාන් සමග ආයෙත් හවස තේ වෙලාවකි. මේ ඔක්කොම අතරේ තාත්තා වැඩ ගොඩකය. අති විසාල ලිපිගොණු වලි ඔහුගේ මේසය පිරී තිබේ. ඔහු ඒවා එකින් එක පෙරලා මොනවාදෝ ලියයි. ඒ අතරේ කාකි කොට කලිසම් ඇදි කෙනෙක් විත් ඒවා රැගෙන යයි. දවල්වනවිට තාත්තා අයෙත් අතුරුදහන් වෙයි. 'තාත්තා ලොකු වැඩකට ගියා ' කියා කෙනෙක් කීවද අර ගුහාවට යන්නට ඇතැයි මට හිතෙයි. අන්තිමේ හවස් වන විට කලබල ගොඩකි තාත්තා ද කලබලයෙනි. සියල්ලෝ කොහේදෝ හනි හනික යති. ආපහු එන බොහෝ දෙනෙක් සතුටෙන් නොවේ කියා මට හිතේ ඒ අතරේ අහම්බයෙන් මෙන් කෙනෙකු දෙන්නෙකු සතුටෙනි. මේ එක් සතුටු මුහුනක් හැමදාම මට මාරු කාසි කිහිපයක් දුන්නා මතකය. ඒ තාත්තාගේ ලොක්කා බව මම පසුව දැනගතිමි. මේ ලොක්කා පසුව ලොකු ලොක්කෙකු විය. තාත්තා ඔහු ගැන සතුටෙන් කතා කරනු මා දැක තිබේ. ඒ එම ලොක්කා අපේ තාත්තාගෙන් වැඩ ඉගෙනගත් කෙනෙකු නිසාවෙනි.
කෙසේ හෝ අප දෙදෙනා ආයෙත් අර පටුමගට වැටෙන්නෙමු. මගේ අතේ ලොකු කඩදාසි පාර්සලයකි. ඒවා තාත්තාගේ කාර්යාලයේ පිහිටෙනි. පටුමගට වන් තාත්තා ඉස්සෙල්ලාම කරන්නේ මට ලොකුම ලොකු රටකජු ගොට්ටක් අරන් දීමයි. ඉන්පසු ඇසිල්ලේ ඔහු මා අර අදුරු ගුහාව ඉදිරිපස නවතා අතුරුදන් වෙයි. මෙවර ඔහු එන්නේ මා රටකජු කා මත්වී ගුහාව ඉදිරිපිට බංකුවේ වාඩි වී ඉන්නා විටය. මේ බංකුවේ මා සමග හැමදා සිටි මැදි වයසේ මනුස්සයෙක් ගුහාවට යන හමදෙනාටම වාගේ 'ආයුබෝං' කීවේය. සමහර අය '----අක්කා' (මෙ ගැහැනියගේ නම මට දැන් මතක නැත.)ඉන්නවා නේදැයි' ඇසුවිට ඔහු කටපුරා හිනාවී. 'ඇතුලේ' කීවේය. ඒ නිසා මට බයක් නැති වුනත් තාත්තා එනවිට කලුවර වැටී ඇති නිසා බයකි. අන්තිමේ අපි දෙන්නා ආයෙත් බස් එකේය...මෙවර තාත්තා ලියුං කවරයක වූ මුදල් නෝට්ටු සිය කමිසයේ අත් නැවුමේ රදවා යලිත් වරක් කමිස අත නවයි. එහෙම කරන වෙන අය මා දැක නැත. කෙසේ හෝ අපි දෙන්නා එකට බසයට නැග්ගද මම ඒ සැනින් බස් රථයේ රියදුරු අසුන ලගට යමි. එකල බැටරි පෙට්ටිය උඩ යාමට පොඩි එවුන් හට ඉඩ තිබිණි. මම බැටරි පෙට්ටිය උඩ වාඩිවී යලි මගේ සිහින ලෝකයට යමි. එවිට බීගත් මිනිසෙකුට බස් රථයේ අනෙක් ගැහැණුන් මිනිසුන් කෑගහනා දොස් කියනා හඩ මට ඇසෙන්නේ නැත. ඒ හීනයෙන් මා ගම්සබා හන්දියෙන් අවදි වෙමි. ඒ දෙල්කද හන්දියෙන් බස්සවාගන්නට වෙරිමතේ නිදන කලිසම් කමිස හැදි කෙනෙකු අවදි කරගනු පිණිසය.

No comments:

Post a Comment