Sunday, October 30, 2016

ඉස්කෝලේ නිවාඩුව

අද නිවාඩු දවසේ ගෙදරදී මගේ දෙවැනියා මෙහෙම ප්‍රශ්නයක් ඇසුවේය. 'තාත්තේ අපි මේ පාර ඉස්කෝලේ නිවාඩුවට කොහෙද යන්නේ..?' ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීම පැත්තක තබා මම මගේ සුපුරුදු මතක ලෝකයේ සැරිසැරුවෙමි. මටත් ඒ කාලයේ නිවාඩුවක් තිබුනේය කියා මට හොදටම මතකය. ඒ මතකයේ නිවාඩුව පිළිබද විවිධාකාරයේ පින්තූර මගේ ඔලුවෙ එහා මෙහා යන්නේය. නිවාඩුවක් පටන් ගන්නට තිබියදි අද මගෙන් ඇහුවා වාගේම අපිත් අම්මාගෙන් අහන්නෙමු. අම්මා ඒ වෙලාවට මම වාගේ එක්කාගෙන යන්නට තැනක් නොව, අපව 'යවන්නට තැනක්' කල්පනා කල නිසා නිහඩව ඉන්නට ඇත. එහෙත් අප වෙන්නට යන දේ දැනගෙන සිටියෙමු. මේ නිවාඩුවට යැවිල්ලට තුන්වන අයියා, දෙවැනි අක්කා සහ මම පමණක් හැමවිටම පෙරමුන ගත්තෙමු. 'යමක් කමක් සහ නාන්නට ' තරං සල්ලි තිබූ නෑයන් අපට හිටි එක අම්මාට ලොකු උදව්වක් විය. හැමවිටම අපි එකිනෙකාට වෙන්වූ නෑදෑ ගෙවල් තිබුනා මට මතකය. ඒ ගෙවල් වල අය අප එකිනෙකා කෙරෙහි ඇති කැමැත්ත නොකැමැත්ත උඩ අප එහි නවතින අයගේ 'ලිස්ට්' වල සිටියෙමු. නිවාඩුව පටන් ගත් වහාම අම්මා අප කැටුව ඒ ගෙවල් බලා යන්නීය.

 එහෙත් මා මේ 'නිවාඩු ගමන්' වලට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැත. මගේ ආසාව වී තිබුනේ ගස් ගල් හා ලී මෝල, ඉරිදාපොල සමග නිවාඩුව ගත කිරීමට වුව අම්මා මගේ ' බඩ' ගැන මට වඩා හිතූ නිසා මා රැගෙන ගියේය. එහෙත් දෙවැනි අක්කා මේ ගමන් ගැන ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැති නිසා ඇගේ ගමන් වාර සීමීත විය. අනෙක සමහර වැදගත් ඥාතීන් අපට සමහර වෙලාවට වැදගත් ලෙස සලකා 'කුස්සියට, වත්තට' හිර කර තැබූ බව අප අම්මාට නොකියා කීවෙමු.  එහෙත් මේ සියල්ලට වඩා අම්මා  දහ දොලොස් දෙනෙකුට කන්න හදන්නට ඇයට තිබූ අමාරුකම අපව 'නිවාඩු යැවීම'  අඩුම තරමේ මාසයක්වත් අම්මාට සහනයක්  වන්නට ඇත.

මා මේ කියන කාලේ ලොකු අක්කා ගල්කිස්සේ අපේ ඥාතියෙකුගේ ගෙදර නැවැතී සිටියාය. ලොකු අක්කා නැවැතී සිටි ගෙදර නිවාඩුවට මම කිහිප වතාවක්ම ගිහින් ඇත්තෙමි. ලොකු අය්යා මේ කාලයේ නැවැතී සිටියේ මෙහිමද නැතිනම් වෙන කොහේදැයි මට මතක නැත. අම්මා මා කැටුව මගේ ඇදුම් කිහිපයක්ද රැගෙන එහි යන්නේය. එහි වරුවක්ම ගතකොට එන්නට ලංවෙද්දී අම්මා ඒ ගෙදර අයට මා ගැන කොදුරයි. ඒ කෙදිරීම, මා මෙහි නවතින්නට අසනවා යැයි වැනි දෙයකි. එහෙත් මම හිත ඇතුලෙන්ද මූනෙන්ද ' නෑ නෑ මම අම්මා එක්ක ගෙදර යන්නං, කන්ඩ නැතිවුනත් අම්මත් එක්කම ඉන්නං ' කියා පෙන්නූවත් අම්මා මා දකින්නේ නැති ගානට සිටින්නීය.අම්මා මා ලොකු අක්කාට බාරදී යනවිට මගේ හිතේ ලොකු දුකක් ඇතිවුනත් දවසින් දවස මා ඒ පරිසරයට හුරු වීමි. අන්තිමේ නිවාඩුව ඉවර වී ගෙදර එන දවස වන විට යලි යන්නටත් බැරි දුකක් ඉපදෙයි.

ගල්කිස්සෙ හිටියේ සල්ලිකාර නෑදෑයෙකි. ඔවුන් යහමින් කෑවේය. යහමින් ඇන්දේය. කෑවා කිව්වේ ඒ කාලේ නොව මේ කාලෙත් නොකන තරමට කෑවේය. ඒ ගෙදර උදේ කෑමට බැදපු බිත්තර, තෙල් බේරෙන බේකන් පෙති හා ටෝස්ට් කරන ලද සුදු හ දුඹුරු පාන් තිබුනා මට මතකය. කාලයක් ලොකු අය්යාගේ නවාතැනද මෙහිම විය. ලොකු අය්යාට ඒ ගෙදර සොදුරු මතක ඇති බව මම දනිමි. එහෙත් මේ  ගෙදරම මට ඒ තරම් සැලකිල්ලක් ලැබුණේ නැත. එකම පවුලේ තුන්දෙනෙකුට කන්න බොන්නට දෙන එකත් ලොකු දෙයක් නිසා මගේ හිතේ කිසිම තරහක් නැත. මා මින් දුක්වන්නේත් තරහාවක් ඇතිකර ගන්නේත් නැත. එහෙත් මම එකල අවුරුදු නවයක දහයක පොඩි කොල්ලෙක් නිසා මට ඔය කී දුක තරහා හා වේදනාව එකල ඇතිවීම සාධාරණ බව මම මටම කියා ගනිමි. එහෙත් අක්කා මා ගැන දවස පුරාම සොයා බැලුවාය. ගෙදර අයට හොරෙන් හොරෙන් මගේ බඩ 'වැඩිපුර ' පිරෙව්වාය.  බේකන් කෑල්ලක් ලොකු අක්කා අත පිච්චි පිච්චී ගෙනත් මා අත තියා..' කනවා ඉකමනට කවුරුත් දකින්නට කලින්..'  කියා යනවා අදත් මට මැවී පෙනෙයි. අක්කා ඒ ගෙදර කුස්සියේ ලොකු වැඩ ටිකක් කලා මට මතකය. අපේ ගෙදර තිබූ තත්වය මත ඈ ඉන් සතුටු වන්නට ඇත.

මට යන්තමින් මතක ඇති අපි 'මාමා' කී ගෙදර ප්‍රධානියා ලොකු හාන්සි පුටුවක නිදාගෙන දවසම ගතකලේ අසනීපයක් නිසාදැයි මට මතක නැත. එහෙත් ඔහු මුලු පවුලම එතැන සිට පාලනය කලේය. අම්මා මා එක්කාගෙන ආ විටද, මා රැගෙන යන්නට ආ විටද මේ මාමා අම්මා අත ලොකු ගානක් තබන බව මා දන්නේ මා එක්කාගෙන  ගෙදර ගියදාට 'ලොකු කෑලි'  කැපූ කුකුල් මස් ඇතිලියක් තෙල් උණමින් පිසෙන නිසාවෙනි.

 මේ ගල්කිස්සේ ගෙදරදිම ජීවීතයේ පලමු වතාවට මුහුදේ පිහිනුවෙමි. ඒ ගෙදර මට මතක නැති අය්යලා කිහිපදෙනෙක් මා රැගෙන මුහුදට ගියා මට මතකය. ඒ ගමනට ලොකු අය්යා හෝ ලොකු අක්කා ආවේ නැති බව මට මතකය. කෙසේ හෝ මේ අය්යලා මා කොට කලිසම පිටින් මුහුදට දා රැල්ලක් එනවිට ඒ සමගම වතුරේම වෙර දමා කෙසේ හෝ ඉනෙන් උඩ කොටස රැල්ලෙන් බේරාගන්නා ලෙස උපදෙස් දුන්නෝය. ඒ උපදේසය ගැන මට හිතන්නටවත් වෙලාවක් නොදී මහා රැල්ලක් විත් මා හතර පස් වරක් කරකවා පොලවේ ගැහුවේ මගේ කටේ කනේ සහ 'අනික් තැන්' වලද වැලි පුරවමිනි. එහෙත් මේ 'අය්යලා' බඩවල් අල්ලාගෙන හිනාවෙවී තුන් හතර සැරයක්ම මෙහෙම වෙන්නට ඇර මා ගොඩට ගෙනාවේ  'උඹව නං උබලගේ අය්යගේ ලගින් වත් තියන්නට බැහැ' කියමිනි. එහෙත් මේ ගමන නිසා අක්කා බය වී සිටි බව මට තාම මතකය. එහෙන් ඇස් දැවිල්ල‍ය. අනෙක වැලි ගිය තැන් හීන් වැල්ලට කැපී 'දන්නට' ගෙන ඇත. අනෙක මහා බඩගින්නකි. ලුණු වතුර පෙවී බඩද කලගෙඩියක් මෙනි. අන්තිමේ අක්කා මට ' තමුසේටත් මුන් එක්ක ගියාට හොද වැඩේ ' කියමින් මට නාගෙන එන්නට කියා කන්නට ලොකු බත් පිගානක් දුන්නාය.

මෙහෙම නිවාඩුවට ගිය තැන් අතර ගමේ දුප්පත් මාමාගේ ගෙදරද, පානදුරේ අම්මාගේ තව ඥාතියෙකුගේ ගෙදරද අපේ ගෙට කිලෝමීටර් හත අටක් දුරින් තිබූ ජම්බුගස්මුල්ලේ තව ඥාති ගෙදරක්ද මට හොදටම මතක තැන්ය. ඒ අතර පානදුරේ අපි ' අක්කා' කී හිත හොද මනුස්සයා මට මේ ලගදී මුනගැහුනාය. එකල ඇයට මට වඩා බාල ලමයින් දෙදෙනෙකු සිටි අතර අය්යා මැදපෙරදිග සේවය කලේය. ඈ මා දුටු විගසම මගේ අතින් අල්ලාගෙන ' අනේ මතකද කොල්ලෝ උඹ නිවාඩුවට ඇවිත් ගෙදර ගියාම ආපහු ගෙන්න ගන්න කියලා මට ලියුං එවනවා' කියා මගේ නෝනා ඉස්සරහම ඇසුවාය.
 පානදුරේ කතාව පසුව ලියන්නට තබා ගමි. ඒ ගමන් මගේ කොල්ලන් එක්කාගෙන යන තැනක් කල්පනා කරමි. පානදුර ඊට අගනාම තැන බව මට හිතේ.

21 comments:

  1. මම හිටියෙ හොස්ටල් හින්ද නිවාඩුව කියන්නෙ ගෙදර යෑම තමයි

    ReplyDelete
  2. හරිම ශෝක්,, මේක බ්ලොග් එකක් ඇතුලේ තව බ්ලොග් එකක් වගේ ලියන්න පුලුවන්. මට මේ බොහෝ දේ මතකයි. අපි බලමු බ්ලොගක් ඇතුලේ තව බ්ලොගක් ලියන්නේ කොහොමද කියලා. මේක අලුත් අත්දැකීමක් වෙයි සිංහල බ්ලොග් ලෝකයට. මට දැන් නිදිමතයි. හෙට මේ චරිත ගැන මතකය ලියන්නම්. ලියපු ඒවත් තියෙනවා ගල්කිස්ස ගැන. ඔය පොරෝලිස් මාමා මාර පොරක්. වටිනා චරිතයක් ලියලා තියන්න,

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් ලියුවද , ලින්ක් එක කෝ

      Delete
    2. අරූ, බ්ලොග් එක ඇතුලේ බැරිනම් කොහේ හරි කමක් නැහැ ලියමු...

      Delete
    3. අම්මට සිරි තවත් එකක් එලනෙ

      Delete
    4. ඔව්වා අපි කියවලා තියනවා

      Delete
    5. අටමෝ දැන් උඹ මට නොකිය කියන්නේ කට වහගෙන හිටපන් කියලද....

      Delete
  3. ඔව් ඔව්. පානදුරේ ගැන ලියන්න. එහෙ ගියහම තව තව පරන කතා මතක් වෙලා එයි. දැන් ගල්කිස්ස ගැන අරූ අයිය ලියයි.

    ReplyDelete
  4. පොරෝලිස් මාමාගේ අතමිට සරු නැති නැදෑයන්ගේ පවුල්වල අයත් ඔය ගෙදර නැවතිලා හිටියා. ඒ අක්කලාගේ යාලුවෝ එහෙමත් හිටියා. ගෙදර අයට වඩා පිට අය හිටියා. පානදුර කතාව ලියන්න. ඔවුන් පානදුර යන්නට පෙර සිටියේ දෙහිවල සූ එකේ ක්වාටර්ස් වල. මගේ ජීවිතේ එක කාලයක් මම හවස්වරුවම ගත කරන්නේ සත්තුවත්තේ ඔහේ ඇවිදිමින්. ඒ අයියා සත්තුවත්තේ ලැබ් එකේ හොඳ රැකියාවක් කලා.

    ReplyDelete
    Replies
    1. අය්යා වුනාට කමක් නෑ ..පුලුවන්නං අරුගෙ අඩවිය බ්ලොග් එක පටන් අරන් පෙන්නන්න... අම්මපා වයින් බෝතල් දෙකක් අරන් එනව බලල යන්න...කිලෝමීටර් 8695 කියන්නෙ මහදුරක් නෙවේනෙ...නැද්ද..

      Delete
    2. ශිකේ ශිකේ ලොක්කා ඔයා හිතුවද අපි මේ වයින් බෝතල්වලට ලියනවා කියලා..මල්ලි ශෙවල එපා අරිද....අපිත් දෙල්කඳ කොල්ලෝ.

      Delete
    3. අයියයි මල්ලියි:D මරු යකෝ

      Delete
    4. අන්න ඒකනේ මාත් කියන්නේ , වර්ඩ් ෆ්රෙස් රෙද්ද නං එපා , බ්ලොගර් එක ලියහං අරු අයියේ

      Delete
  5. අරුණ කමෙන්ට් ලියන්නෙ මේක අරුණගේ කතාව නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. නැහැ හැලපේ .

      මම ඔය කතාව ඇතුලේ ඉන්නවා. නමුත් මගේ කතාව නෙමේ.

      Delete
    2. අඩේ අවුල් වෙච්ච අරූ. මේ ඔයයිගෙ මල්ලිද ?

      Delete
  6. අය්යා වුනාට කමක් නෑ ..පුලුවන්නං අරුගෙ අඩවිය බ්ලොග් එක පටන් අරන් පෙන්නන්න... අම්මපා වයින් බෝතල් දෙකක් අරන් එනව බලල යන්න...කිලෝමීටර් 8695 කියන්නෙ මහදුරක් නෙවේනෙ...නැද්ද..

    ReplyDelete
    Replies
    1. එකම කමෙන්ට් එක දෙසැරයක් වැටෙන්නේ දැන් අච්චර වැරදිකාරයෙක් කියන අපේ තාත්තා වගේ බොනවද. විහිලුවට ඇහුවේ, රාජකාරිය එක්ක එහෙම කරන්න වෙන්නේ ෆිට් සෙට් එකක් හම්බුවානම විතරයි කියලා මම දන්නවා.

      මම මේ බ්ලොග් එක අප්ඩේට් වෙනවා දැක්කේ අහම්බෙන්. අපි කතා නොකරම ඉමු මේක ලියලා ඉවර වෙනකම්. මම ආසයි ලොක්කාගේ ජීවිතය ලොක්කාගෙ අකුරුවලින්ම විඳින්න. ඒක නිදහසේ කරන්න.

      කමෙන්ට් එකක් දාපු කෙනෙකුට අඩුම ගානේ තැන්ක්යු වත් කියන්න. ඒක හොඳ පුරුද්දක්. කොහෙද අයියා හොඳ පුරුදු කියලා දෙන්න ඉස්සෙල්ලා නරක පුරුදු ගොඩේනේ හිටියේ.

      ජීවිතයට ඉඩක් දෙන්න.....ඔව් ඒක කරන්න ඕන. හැබැයි සියලු වගකීම් වලින් සෑහෙන කොටසක් අවමයෙන් හරි ඉටු කරගත්තට පස්සේ. කතාව ලියන්න. මල් මසුරං!!!!. මගේ ජීවිතේ වගේ......

      Delete
    2. අන්න ඒකනේ මාත් කියන්නේ , වර්ඩ් ෆ්රෙස් රෙද්ද නං එපා , බ්ලොගර් එක ලියහං අරු අයියේ

      Delete