Saturday, December 31, 2016

78 ක් වටින රුපියල් සියය..(53)



29 වෙනිදා හවස අම්මා අපේ ගෙට ගොඩවුනේ ලොකු අක්කාගේ උදව්වෙනි. වෙනදාට හිතු හිතූ වෙලාවට සාරියක් පටලවාගෙන අපේ ගෙදරට එන අම්මා දැන් අවුරුදු කිහිපයක සිට ටික දුරක් අවිදින්නටත් කාගේ හෝ පිළිසරනක් පතයි. යමක් කියන්නට ඇගේ සටහන් පොත හා පෑන අතට ගනී. එහෙත් එදා අම්මා මීට වඩා බොහෝ සවිමත්ව හිටියාය. ඈ කන්දක් තරම් වූ දුක්ඛ දෝමනස්ස හමුවේනොසැළී සිටියාය. අපට දුක නැමැති සුළිසුලගේ ගසා යන්නට ඉඩ නොදී ඇගේ දෑතින් අප රැක්කාය. ඈ බොහෝ දුරක් ගෙවා මේ විසිනව වෙනිදා 78 වන වියට පා තැබුවාය.
අම්මා මේ කල වික්‍රමය කරන්නට මට නම් මේ කල්පයේ බැරිවනු ඇත. මා අම්මා සමග තැබූ විට අහස පොළොව වැනිය. අදටත් මා එක වචනයකින් එක හැගීමකින් එක සියුම් සිදුවීමකින් සැලී යන්නේය. එහෙත් අම්මා මා වැනි සියයක් දුර්වල මිනිසුන්ට වඩා ශක්තිමත් වූවාය. ඒ ගැන සතුට ඇත්තේ අපට බව මා සිතමි. අවුරුදු හැත්තෑ අටක කාලයෙන් වැඩි හරියක්  ඈ විදි කටුක බව මා වින්දා නම් මා අනිවාරයෙන් පිස්සෙකු වන ඇත. අදටත් මා සමහරුන් පිළිබද සිතමින් දුක්වන්නෙමි. ඔවුන් මා සිතා මතා පෙලන්නේ යැයි  කල්පනා කරමින් දුක්වන්නෙමි. ඒ අයගෙන් ඈත් වන්නට කල්පනා කරමින් විදින්නෙමි. මා කොතරම් දුරවලදැයි හිතෙන්නේ එවිටය. ඒ දුර්වලකම කාගේ දැයි මා නොදනිමි. එහෙත් අම්මාගේ නම් නොවන බව දනිමි.

කෙසේ හෝ මගේ ගෙට ගොඩවුනු අම්මා එන්ගලන්තයේ සිට ලොකු අය්යා එවූ පතරංග කේක් ගෙඩියවත්, විටමින් බෝතල්වත්, පොඩි අය්යා කිසිදු වචනයක් කතා නොකරන අම්මා සමග පැය ගනනක් ඈත රටක සිට කතා කල දුරකතන  ඇමතුමවත්, ලොකු අක්කා හදා ගෙන ආ මිහිරිතම බිස්කට් පුඩිමත්, පොඩි අක්කා වියදම් කොට සංවිධානය කල කෑම වේලවවත් පිළිබද ඒ තරම් උනන්දුවක් දැක්වූවේ නැත. ඈ ආ විගස කලේ මගේ අතින් අල්ලාගෙන මගේ ගෙදර බිත්තියේඑල්ලා තිබූ පොඩි අය්යාගේ පින්තූරය පෙන්නා ඔහුගේ දරුවන් එන්නේ නැත්දැයි ඇසීමයි. මට ඒ වෙලාවට කියන්නට දෙයක් තිබුනේ නැතත් මම රෑ බෝ වී හෝ ඔවුන් එතැයි බොරුවක් කීමී.(ඔවුන් පසුදින අම්මා බලන්නට ගොස් තිබුණේය.)
ඇයට ලෝකයම දෙකට කඩා පාමුල තැබුවද සත පහක වටිනාකමක් නැත. ඇයට ඕනෑ ඈ දුක් කන්දක් විද හැදූ ඇගේ දරුවන් සමග ඉන්නටය. ඔවුන්ගේ දරුවන් සමග ඉන්නටය. අපේ අම්මා ආදරය කලේ තමන්ගේ එවුන්ට පලමුවෙනියෙනි. හැම මවක්ම එසේ වනු ඇතැයි මම සිතමි. ඒ අතරේත් අම්මා අපේ පවුලේ පිරිමි දරුවන්ට වැඩිපුර සෙනෙහස දැක්වූවාය. විටෙක  අක්කා ඇයට විහිළු කරන්නීය.'අපි ඉතිං බඩ බැදන් සැලකුවත් අම්මට පුතාල දැක්කමනේ හිනාවක් එන්නේ...' ඈ අප සැම හිනස්සා කියන්නීය. අම්මා එහෙම කියනවාටත් කැමැතිය. එහෙත් ලොකු අක්කා ඇගේ මිතුරියය. විටෙක දෙන්නා රන්ඩු වී මට දුක කියන්නීය. 'අම්මා මාත් එක්ක රන්ඩු අල්ලනවා ..ටිකකට එන්න මේ පැත්තේ..එතකොට ඔක්කොම හරිය කියන්නීය. එහෙම ගිය විටක අම්මා අක්කාවත් අපත් වටකරගෙන සිනා සෙන්නීය. ඇයට ඕනෑ එපමනය.

මට මේ වෙලාවේ මතක් වන සිද්ධියක් තිබේ. එක දිනක මගේ මිතුරෙක් අපේ ගෙදර එන්නට ඕනෑ යයි කීවෙන් මම ඔහු සමග ගෙදර ආවෙමි. ඔහුගේ පියා ඇලුමිනියම් වැඩපලක හිමිකරුවෙක් වූ යමක් කමක් තිබූ කෙනෙක් විය. ගෙදර තත්වය දැනදැනත් මා ඔහු එක්කාගෙන ඒම ගැන මට එදා හැගීමක් තිබ්බේ නැත. කෙසේ හෝ අම්මා අපට දවල්ට කන්නට බත් බෙදාදුන්නාය. පිගානට බෙදූ බත්වේලේ පරිප්පු හා පොල් සම්බෝලයක් අතරට බිත්තර බාගයක් තබා තිබුනේ ය. මගේ යාලුවා රසයි රසයි කියමින් බුදිනා අතරේ මගේ පිගානේ බිත්තර බාගේ ඉවර වෙන්නේ නැත. ඒ බිත්තර බාගයක් නිසා නොව තනි බිත්තර ගෙඩියක්ම මගේ පිගානට බෙදා තිබුණු නිසාවෙනි. මම බිත්තරය දැක කුස්සියට ගොස් අම්මාට අවනඩුව කීවෙමි. එදා අම්මා 'ඒ ළමයි හොදට කනවනේ ලමයෝ ඔයා ඕක කන්න ' කීවාය. අනෙක් බාගේ අක්කාගේ පිගානේ විය. ඒ අපේ අම්මාගේ හැටිය. එදා මට ලැජ්ජා හිතුනත් අද මගේ ආඩම්බර මතක අතරේ එකක් බවට ඒ සිදුවීම පත්ව තිබේ.

එදා කේක් ගෙඩිය කපා සියල්ලන්ටම කැවූ අම්මා තාත්තාට කවන්නට බෑ කියමින් ලැජ්ජාවෙන් සිනාසුනාය. ලොකු අම්මා මැදට පැන අම්මාට බල කලෙන් ඈ තාත්තාට කැව්වාය. ලොකු අම්මාගේ දියණියගේ දරුවෝද අපේ දරුවෝද මේ සුන්දර අත්දැකිම බඩවල් අල්ලාගෙන හිනාවෙමින් සතුටින් ඉන්නා දසුන් පවා අම්මා සතුටු කරන්නට ඇත.

මේ සොදුරු දසුන් මා මියෙන තුරුම හදවතේ කොනක තැන්පත් වනු ඇතැයි මම දනිමි.

ලොකු අම්මා ඇගේ උපන්දිනයට තෑග්ගක් ගෙනවිත් තිබුනාය. අපි පවුලේ බොහොමයක් දෙනා වාගේ එදා ඡායාරූපයක් ගත්තෙමු. ඉන් පස්සේ ඈ අම්මා සිඹ  ඒ තෑග්ග දුන්නාය. අම්මා කදුළු පෙරමින් මොනවාදෝ කීවේය. ඒ තෑග්ග කුමක්දැයි අපට තිබූ කුතුහලය අම්මා බින්දාය. ඒ තුනට හතරට නැමූ රුපියල් සියයකි.

සැබෑම ආදරයට වටිනාකම දෙන්නට කිසිවකට බැරිය. ලොකු කේක්, ලොකු කෑම වේලක්, ලොකු උපන්දින තෑග්ගක්, උපන්දින කාඩ්පතක් ....මේ  සියල්ල පරයා ආදරයෙන්... අමතක නොකොට... එක වචනයක් කියන්නට හැකිනම් මුලු ලෝකයම පරයා ඒ ආදරය දැනෙනු ඇත. ලොකු අම්මාගේ රුපියල් සියය ඒ ආදරය දැනෙන මොහොතකි.

අපෙ අම්මා ඇඩුවේ ඇයිදැයි මට තේරුම් ගත හැක. එතැන නොසිටි අය්යලා තුන්දෙනාටද අක්කලා දෙන්නාටද තේරුම් ගත හැකිය යයි මට සිතේ.

matahithenahatiblogger.blogspot.com

Tuesday, December 27, 2016

අනුන්ගේ කලිසම් සහ මගේ ලන්කට් (52)



කාලය ගෙවෙන්නේ ඉතා වේගයෙනි. ඒ වේගයෙන් යන්නට බැරි තැන්වලදී මම හිමින් යන්නට තැත් කරමි. එහෙත් ඊට ඉඩක් නැත. බොහෝ දේ ..බොහෝ චරිත  මගේ ජීවීතය හැඩගස්වන්නේ මටත් නොදැනෙන්නටය. ඒ හැමදෙයක්ම හැම කෙනෙක්ම පිළිබද මතකයක්  නැතත්, අඩුම තරමේ යම් කොටසක් හෝ මට මතක තිබේ.  සමහර තැන්හී ඒවා මතක් වී දෙනෙත් කදුළෙන් පිරෙන්නේය..සමහර තැන්හී නොදන්නා පාළුවකින් හිස පිරී යන්නේය..සමහර තැන්හී සතුටු සිත් ඇතිවෙයි. මේ සියල්ල ජීවිතයේ කොටස් වෙයි..මා එහිම කොටස් කාරයෙකි.

(මට තරම් අමතක වන්නෙකු මුළු පවුලේම සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් මා වාර්තා තබා තිබේ. වරෙක පෞද්ගලික පන්තියකට යන අතරමග ලොකු අය්යාගේ එක් අවුරුදු දියණියට කවන්නට අම්මා  දී යන්නටැයි කී, සාක්කුවේ දමාගත් කෙසෙල් ගෙඩිය මට මතක් වුනේ  මා එහි ගොස් ඇයව සුරතල් කොට  බස් එකේ ඉදගද්දීය. අන්තිමේ  චරප්ප වූ කෙසෙල් ගෙඩිය නිසා 'නන්දලාල් සර්ගේ එකවුන්ට්ස් පන්තියත්' මට නැතිවිය.) 

අලුත් ඉස්කොලේ පටන් ගැන්මම මට මහා අවුලකි.  ඉස්කෝලේ දින චරියාව මට හරියන්නේම නැත. උදෑසන අවදිවී දත් මදින්නට වීම මහා කරදරයකි. දෙවැන්න එකම කලිසම - කමිසය   අදින්නට වීමයි..නැත්නම් අය්යලා විසින් හම්පඩ ගසා  මට අදින්නට දෙන කලිසම් කමිස ගැන මගේ අකමැත්තයි.
ඒ අතරේ අම්මා විටින් විට අපේ නෑදෑයන්ගේ  හෝ අම්මා දන්නා හදුනන අයගේ ඇදුම් ගෙන ආවාය. අප ඒවාට ආසා කලෙමු. ඒවා අලුත්ම අලුත් නොවුනත් අපේ හිත් සතුටු කලේය. එහෙත් සමහර අවස්තා වල විහිළුවට බදුන් වන්නට වන කාරණාද විය. මගේ මතකයෙන් මේවා මැකී නොයන්නේම ඇය්දැයි විටක මා කල්පනා කරමි. සමහර විට ඒ සිදුවීම් මගේ ජීවීතය ආක්‍රමණය කොට ඇත්තා සේය. ඒවා මට නිරන්තරයෙන් මතක් වෙයි.
වරෙක මගේ සපත්තු ඉස්කෝලේ විහිලුවකට බදූන් විය. ඒ සපත්තු දෙක පිරිමි දෙකක් නොවන වගට මගේ මිතුරෝ කැට ලෑහ. මා පරදින්නේ නැත. ඒ අලුත්ම විලාසිතාව යැයි මා කියන කියන වාරයක් පාසා කොල්ලන් මට හිනාවුනේ මුත් මා ඒ කිසිත් තැකුවේ නැත. අඩුම තරමේ මා පරාද වන්නෙකු නොවන වගවත් ඔවුන්ට පෙන්නුම් කලෙමි. එහෙත් සපත්තුවේ මල් හැඩයට සිදුරුකල සපත්තු දැම්මේ බාලිකාවන් බව මා දැන සිටියෙමි. ඒ හිල් වහන්නට කලු සපත්තු පොලිෂ් ගුලි පිටින් ගෑවෙමි. අදත් මගේ රැකියාවට යන්නට සපත්තු දෙක ඔප කරනා හැමවිටම මට මතක් වන්නේ මගේ අර බාලිකා සපත්තු දෙකය.

සපත්තු වලට අමතරව මට තිබූ කලිසම් වල නිල්පාට සේදී ගොස් නිලෙහී ලා ම පාට වර්ණය මතුවී තිබුණත් මම ඒ ගැන තැකීමක් නොකලෙමි. එහෙත් 'ලමයින්' කොල්ලන් වී යට ඇදුම් අදින්නට පටන් ගන්නා කාලයේ හැම විටම මා අර දුහුල් කලිසමෙන් මතුවී පෙනෙනා දේවල් පරෙස්සම් කරගන්නට මහන්සි ගත්තෙමි. අන්තිමේ ගෙදරට අදින හිර කලිසම්වල කකුල් කපා යටට ඇන්දෙමි. එහෙත් එක දවසක මා වතුර බොන්නට පයිප්පය ලග නැවෙත්දී ලොකු කොල්ලෙකු මගේ රෝස පැහැති යට කලිසම දැක ' ඈ බං අක්කාගේ එක ඇදන්ද ආවේ ' කියා ඇසුවේ වතුර  පයිප්පයත් මාත් පමණක් මතක හිටින සේ මා අන්ධකාර කරවමිනි. වතුර බීම පසෙක ලා පන්තියට යන තෙක් මා සිටියේ ඒ අන්ධකාරයේමය. එවන් අන්ධකාර සිතිවිලි මට ඕනෑ තරම් දැනී තිබේ. එදා ගෙදර ගොස් මා අම්මා සොළවා මගේ ඉස්කෝලේ මාරුකර දෙන ලෙස ඉල්ලු විට ඈ හැමදාම මෙන් ..'හරි හරි තව ටික දවසනේ ..' කීවාය. මා කලින් කීවා මෙන් ඇගේ සිතේද, මට මෙන් 'හෙට ' ගැන බලාපොරොත්තුවක්  තියෙන්නට ඇත.
කීවාක් මෙන් දෙවැනි අය්යා මා ඊලග දවසේ කූද්දා මා අත කුඩා බ්‍රවුන් පේපර් බෑගයක් තබා..' ඇදන් පලයන්..' කීවේය. එකල ඔහු පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් විකුණන තැනක වැඩ කලේය.

(ඔහු ගැන මට ලියන්නට බොහෝ දේ තිබේ. එහෙත් ඒ ගොනු කරගන්නට නොහැකිව ලතවෙමි. අද මා ඔහුගේ අය්යා මෙන් හැසිරෙමි. විටෙක මා ඔහුට යකෙකු සේ කඩා පාත් වන්නෙමි. විටෙක ඔහු හා වාද වන්නෙමි. බොහෝ වෙලාවන්හී මම ඔහු හා කතා බස් කරන්නේ නැත. මේ කියවන ඔබට ඒ ගැන ඇතිවන හැගීම ගැන මා කිසිත් අහිතක් සිතන්නේ නැත. මා එසේ වීමම නිසා ඔහු අද අඩුම තරමේ මහගෙදර තනිකඩව ජීවත් වන්නේය කියා මට දැනෙන සතුටු හැගීමක් තිබේ.  ඒ ගැන කමන්න.)

කෙසේ හෝ එහි තිබුනේ යට ඇදුම් දෙකකි. දෙකම තනි සුදුය. අම්මා ඒ දුටු විගස 'අපරාදේ කළු හරි දුඹුරු හරි ගේන්න තිබ්බේ ..' කියා කීවේ මගේ තරම දන්නා නිසාය.  පහුවෙනිදා මා ඉස්කෝලේ ගියේ පුදුම ආඩම්බරයකිනි. වතුර පයිප්පය ලගද , චූ පෝලිමේද මම කලිස්ම ටිකක් පහලට වන්නට ඇන්දෙමි. එහෙත් එකෙකු වත් මගේ අලුත් යට ඇදුම දැක්කේ නැත. ඒ ගැන මට දුකක් ඇතිවුනද කුමක් කරන්නද...

අද රැකියා ස්ථානයේ මා විසින් මෙහයවන තරුන කොල්ලන් අදින්නේද ඉනට නොව දනිහිසට නිසා උන් දකින මගේ සිත යලි මගේ ' ලන්කට් මතක ' අලුත් කරයි. එවිට මට තනියම සිනා යයි. එහෙත් එදා මගේ යට ඇදුම ඉස්කෝලේ කොල්ලන් නොදැක්කා සේම මුන් මගේ සිතේ සතුටද දන්නේ නැත.

මගේ ජීවිතයේ බොහෝ දේ යලි පුනරාවර්තනය වෙයි. සමහර දේ ගැන මටත් පුදුමය. ඉස්කෝලේ යන කාලයේ එක අවුරුද්දක මා ඇන්දේ කවුරුන් හෝ පිටරටක සිට ගෙනා සුදු අත්කොට කමිස කිහිපයකි. මෙහි දෙපැත්තෙම සාක්කු තිබුණු අතර උරහිස උඩින් බොත්තමක් අල්ලා සවිකොට තිබුණු යම් කොටසක් විය. ඉස්කෝලේ කොල්ලන් මේ මොනවාදැයි අසන්නට වුවත් මට ඒ පිළිබදව අදහසක් තිබ්බේ නැත. බාලදක්ෂයන්ගේ ඇදුමේ මේ ' උරපටිය'  අස්සෙන් විස්ල් එක එල්ලා තිබුණා මට මතකය. කොල්ලන් අන්තිමේ ඒ පිටරට බාලදක්ෂ ඇදුමක් බව තීරණය කලෝය. මමද ඒ ආඩම්බරයෙන් සිටියෙමි. ඒ කමිසයේ පොඩි ගතියක්ද තිබුණේය. එහෙත් එක දවසක ඉස්කෝලේ ගුරුවරයෙකු මේ කෑලි දෙක අයින් කරගන්නා ලෙස සත්තමක් දැම්මෙන් මා ගෙදර ගොස් ලොකු අම්මාට කියා ඒ කොටස අයින් කරගත්තෙමි.

එයිනුත් වසර දහයකට දොලහකට පසු ඕමානයේ මගේ නිල ඇදුමේ කමිසය එයම විය. එයිනුත් වසර පහකට පසු තානාපති කාරයාලයේ  'මවුන්ට්බැටන් හවුස්' හී නිල  ඇදුමේ කමිසයද එයම විය. එයිනුත් වසරකට පසු මගේ රාජකාරී ස්ථානයේ කමිසයද එයම විය. මීට අවුරුදු හතරකට පහකට පෙර අපේ ආයතනයේ අලුත් නිල ඇදුමක් හදුන්වා දුන්නේ නැත්නම් මම තවම අර කමිසය අදිමි.
මට ඒ ගැන සතුටුය..එහෙත් දුක මට ඒ කමිස ගෙනවිත් දුන් කෙනා පිළිබද මතකයක් නැති වීමයි. ඔහු හෝ ඇය කවුරුන් වේවා මා මේ මොහොතේ ඔවුන් මතකයට නගමි.
බොහෝ පින් වේවා යයි පතමි.

Saturday, December 24, 2016

දොස්තරවරු සහ දොස්තර මහත්තුරු...


මහරගම දැන් කැල්බෝ බේකරිය ඇති තැන 'සිල්වා මහත්තයා' මහත්තයෙකි. අපේ සියලුම රෝග කාරක වලට බෙහෙත් ගන්නට අම්මා අපව එක්කාගෙන ගියේ සිල්වා දොස්තර මහත්තයා කියා නොව සිල්වා මහත්තයා කියා කතා කල ඩොක්ටර් සිල්වා ලගටය. ඒ දොස්තර මහත්තයා වටකරගෙන ඇති නිල් රතු කොළ පාට ලොකු බෙහෙත් බෝතල්වල ඇති බෙහෙත් ඇත්තටම රසය. අප ගැන දැනගෙනද කොහෙදෝ සිල්වා මහත්තයා මූණ බලා හිනාවී අර ලොකු බෝතලයෙන් බෙහෙත් අපි ගෙනා කුප්පිවලට වක්කර දුන්නේය. ඒ බෙහෙත් සාප්පුව වටේටම විසිතුරු මාලු ඇතිකරන ටැංකි තිබ්බේය. මේ ටැංකිවල පාවී පාවී උන් ගෝල්ඩ්ෆිෂ් මාලුවන්ඟේ බඩවල්  ලොකුය. ඒ බඩවල් ලොකුවෙන්නේ ලෙඩ වී කී නිසා  මා බෙහෙත් අරන් එන ගමන් අර නිල්පාට බෙහෙතෙන් ටිකක් අර ටැංකියට දැම්මෙමි. මාලුවාගේ ලෙඩේ හොද වන්නට ඇත. ..මේ පාට පාට බෙහෙත් වලට අමතරව සිල්වා මහත්තයා  සුදු පාට  කඩදාසි කැබැල්ලක ලොකු අකුරෙන් ලියා පෙති දෙකකට වඩා නොදුන්නේය. බෙහෙත් වලට වත් හිලව් වන්නේ නැති සල්ලි ගත්තේද මූණ බලාය. මට නං මතක ඇති දවසක අපෙන් සල්ලි ගත්තේ නැත. ' අඩුවක් නැත්නං විතරක් ආපහු එන්න‍ය ' කියා අර පුරුදු හිනාවෙන්ම 'ටිං..'  ගා අර  සීනුවට ගැහුවේය.

  ඒ දොස්තර මහත්තයෙකි.

නිමල් ගුණසෙකර වගේ රැවුලත් මූණත් තිබුණු මට නම මතක නැති තුවාල වලට බෙහෙත් දැමූ තව කෙනෙකු ආනන්ද අය්යලාගේ ගෙවල් පහුකරගෙන දෙල්කද පැත්තට යන විට හමුවන කඩ පේලියේ උන්නේය. මේ මනුස්සයාද අනේක විධ තුවාල වූ අපේ දද, කුෂ්ට, වන, හොරි වලට මෙන්ම කැපුම්, වැටීම් වලටද බෙහෙත් දැම්මේය. (ලොකු අය්යා මේ කෙනාව දන්නවා නිසැකය.) අම්මා මා එක්කාගෙන යන හැම දාම  ' මෙයාගේ කකුල් බැදලා තිබ්බොත් නන් තුවාල හොදවෙයි, නැත්නං අර සියඹලා ගහ කපන්නට වෙයි'  කියා අර ඉරිදාපොළේ මායිමක තිබූ ලොකු සියඹලා ගහ පෙන්නා කීවේය. මා සියඹලා ගහේ අතුවල වාඩිවී 'සීනී සියඹලා' කනු ඔහු දකිනවා වන්නට ඇත. මට මේ මනුස්සයා මතක තව කාරණයක් වෙයි. ඒ කොල්වින් ආර් ද සිල්වා නැමැති ඒ දවස්වල '' කාර් එකක යන කන්නාඩි දාන ලොක්කෙකු ''බවට පමණක් දන්නා කොණ්ඩය අවුල් කළුම කළු කෙනෙකුගේ වාහනය බ්‍රේක් නැතිව මාර ගහේ හැප්පුනදා 'සර් කොහෙවත් තුවාල ඇද්දැයිද මා ලග බෙහෙත් තියනවා..'  අහපු කෙනා නිසාය. වාහන හැපෙන එක ඒ දවස්වල  ලොකු සිදුවීමක් විය.  ඒ අස්සේ මේ කන්නාඩි  මහත්තයාගෙ වාහනය හැපීම ලොකුම ලොකු සිදුවීමක් වුනේය. (දැන් මට ඒ සිදුවීම නැවැත වෙන්නේ නම් කියා හිතේ.)  ඒත් එ දවස මට අර බිදුණු වීදුරුවේ කුඩා වීදුරු කැට අර මහත්ත‍යාගේ සිදුවීමට වඩා වටිනාකමක් ගෙනවිත් දුන්නේය. බෙහෙත් දාපු නිමල් ගුණසේකර වෙඩිතබා මරා දැමුණු බවට මට මතකයක් තිබේ. එහෙම වුනා නම් ඒ වෙඩි තිබ්බේ  තව මනුස්සයෙකු වන්නට බැරිය.

ඒ දොස්තර නොවුනු දොස්තර - අහින්සකයෙකි.

ඊලග දොස්තර මහත්තයා විශේෂයෙන් කන සම්බන්ධ අයෙකු විය. ඔහුව මුණ ගැහෙන්නට දෙල්කද හන්දිය පහුකරගෙන වික්‍රමාරච්චි කන්නාඩි සාප්පුවත් පහුකරගෙන යන්නට ඕනෑය.  කනේ කලාදුරු පිරීම එදවස සාමාන්‍ය දෙයකි. එහෙම වී කන රිදෙන්නට ගැනීම, කන වටේ රතුවීම,  උණ වගේ හැදීම නිසා මේ දොස්තර මහත්තයා ලගට යාමත් සාමාන්‍ය දෙයකි එහෙත් අර කලාදුරු සුද්ද කරන්නට බැරිවුනු දාට මොකක්දෝ බටයකින් කනහරහා වතුර යැවීම මගින් කරන ප්‍රතිකාරය අසාමාන්‍ය එකකි. ඒ ප්‍රතිකාරයෙන් පසුව ටික දවසක් යනකන් ඉදිකටුවක් වැටුනත් ඇහෙන තරමට කන සුද්ද වන්නේය. එහෙම දේවල් හොදද කියා මා දන්නේ නැත. දැනගත්තද කරන්නට දෙයක් තිබුනේ නැත.


එහෙත් කල්පෙකට අර කනේ ලෙඩේ එන්නේ නැත.

ඒත්
එදා අම්මා කළුබෝවිල සිට  පැමිණ මා සමග නැවැතුනු තැන සොයිසා නර්සින් හෝම් එක 'අපේය'. ඒ ලොකු තට්ටු දෙකේ ගෙදර පවත්වාගෙන ගිය පෞද්ගලික රෝහල අපේ තාත්තාගේය. නැත්නම් තාත්තා වැඩට නොගිහින් මේ ඉස්පිරිතාලේ සති ගනන් නවතින්නේ කොහොමද.. ලොකු බන්දේසියක කෑම පමනක් නොව අතුරුපසද, දොඩං වීදුරුවක්ද එන්නේ කොහොමද. ..තාත්තා ලෙඩෙක් නන් එයාට ඕන ඕන වෙලාවට එළියට ගිහින් එන්නේ කොහොමද ...එහෙම ගිහින් ඇවිත් කන්නෙත් නැතිව නිදාගන්නේ ලෙඩ වී ඇවිත්ද...මේ මා මෙහි පැමිණි පලමු වතාව නොවේ.  මේ සා විසල් සිතිවිලි අතරේ මම අම්මා සමග ඒ ඉස්පිරිතාලෙට පල්ලම බැස්සෙමු.
කළුබොවිල මිසීලා ඝන සැරේට වැඩය. නිදහසක් නැතිව වැඩය. මෙතැන එහෙම හදිසියක් නැත. කළුබොවිල මල් පෝච්චි..තිර රෙදි..ලස්සන බබාලාගේ පින්තූර නැත. මෙහෙ ඒ ඔක්කොම තිබේ. අම්මා මේ ඉස්පිරිතාලේ 'අපේ නිසා' කෙලින්ම ගොස් පඩිපෙල නැග්ගාය. පඩිපෙලින් වමට හැරී නොම්මරයක් ගසා තිබුණු දොරක් ඇරියාය. ඒ කාමරේ දිව්‍යලෝකයකි. සිවිලිමේ ෆෑන් ඒකක් කැරකෙන්නේය. ඇද පිරෙන්නට සුදු ඇදරෙදි පිරවී ඇත. කොට්ටා අපේ වගේ ගල්වී දාර අයින්වල මකුනන් රජවී නැත. ඒ දිව්‍යලෝකයටම අල්ලා කක්කුස්සියක් ඇත. මූණ හෝදන තැන 'මං සයිස් ' කන්නාඩියකි. නාන තැන මල් මල් ඉටි රෙද්දක් එල්ලා ඇත්තේය. ඒ කක්කුස්සියේ මා ගමෙන් ආ පසු  ප්‍රථම වරට හෙලුවෙන් නෑවෙමි. එහෙත් සබන් කැටේ නම් හූණු බිජ්ජක්වත් තරම්  නැත. නා ගත් සැනින් ඉස්කෝලේ ඇදන් ගිය ඇදුන් ගලවා අම්මා ගෙනා ඇදුම් ඇදගත් කෂණයෙන් මට බඩගිණි හැදිණි.   ඇද ලගම කුඩා මේසය උඩ මා අර කලින් කී විසාල කෑම බන්දේසිය දැල් කූඩයකින් වසා ඇත්තේය. තාත්තා ඇද උඩට වී පත්තරේ බලන්නේය. අම්මා තාත්තාට මට වෙච්ච දේ විස්තර කරන්නීය.. ඒ අතරේම අර බන්දෙසිය වසා තිබුණු කූඩය ඇර,  අර වෙන වෙනම තිබුණු හොදි කලවම් කොට  අනා 'පතරංග මාලු කෑල්ල ' කඩා අනමින් මට කැව්වාය.

මගේ බඩක හැටි. ...

එවර නම් අම්මාද කෑවාය. තාත්තා නිසොල්මනේ පත්තරේ කියවන්නේය. අතරින් පතර අම්මාගෙන් මොනවාදෝ ඇසුවාය. අන්තිමේ 'හෙට වැඩට යනවාදැයි' අසන විට තාත්තාට කේන්ති ගියේය. ' උන් මාව වට්ටන්න හදන්නේ..රස්සාවට ගහලා...මම බලා ගන්නං .මං ඉන්නේ ලෙඩ නිවාඩු පිට..උන්ට ඕනනං මෙතෙන්ට එයිනේ...' කියා අම්මාට සත්තමක් දැම්මේය. අම්මා ඕන එකක් රස්සාව බේරගන්න..' යැයි කියා නැගිට්ටේ යන්නටය.
මේ තාත්තාගේ රැකියා ස්ථානයේ සේවකයන් සදහා ලියාපදිංචි වී ඇති රෝහලකි. තාත්තාගේ ආයතනයේ සේවකයෝ මෙහි පැමිණ ලෙඩ සුවකරගෙන බිල 'එහෙට ' යවති. ඒ නිසා මුදල් ගණුදෙනුවක් නැත. එහෙත් මේ  සොයිසා දොස්තර කෙනෙක් නොව 'ඩොක්ටර් 'කෙනෙකි. හරිම සැහැල්ලු මනුස්සයෙකි. නෙරා ආ බඩ උඩට ටයි පටිය ඇන්දෙය. කන්නාඩි දැම්මේය. අපට විහිළු කලේය.  විටමින් ජාති, පෝෂණ අතිරේක නිකන් දුන්නේය. (මට හොදටම මතක මගේ බඩේ ලෙඩකට 'ෆයිබොජෙල්' දුන්නේය.).  තාත්තාට සැර වැර කලේය. හැබැයි ඉන්ග්‍රීසියෙන් නිසා මට තේරුනේ නැත. එහෙමත් කර තාත්තාගේ ඇදේ වාඩිවී බර බර දේවල් කතා කලේය. සුලු සුලු ගණුදෙනුද කලේය.

ඒ දොස්තර තාත්තාගෙ යාලුවෙක් විය.

අපි දෙන්නා 'එහෙනන් අපි යනවා 'කියා පිටත් වුනෙමු.

ප.ලි.
 මා අසනීප වී ඉස්පිරිතාලේ ඉන්නා දවසට  මගේ බිරිද පැමිණ මා අතගා..නලල සිඹ යන්නීය. එහෙත් අපෙ අම්මාට, තාත්තාට එහෙම තිබුනාද කියා මට මතක නැත. එහෙම නැත්නම් ඒ කාලේ එහෙම පෙන්නුවේ නැත. ඒ අය ඒ ගැන තැකීමක් කලේද නැත. තාත්තා සාමාන්‍ය ගානට දා ගත් විට අම්මාගේ නම ඈදා සින්දුවක් කියයි. අම්මා හිනාවෙයි. වැඩි දවසට 'අය්යා මල්ලී වාගේ..' සින්දුව කියයි. ඔවුනට අප නිසා සිය පෞද්ගලික ජීවිතය අහිමි වන්නට ඇත. මට දැනුත් මතක් වන්නේ අප නිදාගත් හැටිය, සාලයේ මෙහා කොනේම දෙවැනි අය්යාය,ඊලගට තුන්වෙනි අය්යාය, ඊලගට මමය. මට එහා පැත්තේ අම්මාය, අම්මාට එහා පැත්තේ ලොකු අක්කා..දෙවැනි අක්කා.තුන්වැනි අක්කා එක පෙළටය. අක්කාද මාද අම්මා අතනොහැර වෙලාගෙන නිදාගත්තෙමු. තාත්තා ඒ පෙල හරහට මේසය යටය. මට දැන් ඒ ජීවිත වල අප නිසා වියෝවුණු බැදීම් ගැන දුකක් තිබේ. අප ඒවා කවමදාවත්ම තේරුම් ගත්තේ නැත. එහෙත් එ බැදීම නැතිවූ විට පවා වෙනස් නොවී  අන් බැදීම් උත්සන්න වී අම්මා අපට මෙන්ම තාත්තාටද හැගීමෙන්  ආදරය කලාය.

ඒ අපේ අම්මාය.

Tuesday, December 20, 2016

ඉස්පිරිතාල



කොල පාට කෙටි තාප්ප අයින දිගේ ඇවිදිමින් නොව දුවමින් එන ගැහැණියගේ සිරුරේ එහෙන් මෙහෙන් පැටලී ඇති සාරිය නිකරුනේ සුලගේ දුවන්නේය. ඇගේ කෙහෙරැළි පවා හරි හමන් ලෙස එකතු කොට බැදී නැත්තේය. එක අතක කෙටි කුඩ කබලකි. එහෙත් ඇගේ තියුණු ඇස් හරියටම සිය දරුවාගේ දුබල ඇස් දුර තියා හැදින්නාය. ඇගේ ඇසෙන් වැටෙන්නට ඔන්න මෙන්න තිබූ කදුළු බිද ඇස් කෙවෙණි මතින් අතහැරුනේ සිය දරුවාගේ හිස මතය. ඒ කදුළු බිදුව කාෂ්ඨක පොලෝතලයට වැටුණු දිය බිදක් මෙන් ඔහුගේ කෙටි කොණ්ඩා ගස් අස්සෙන් ගොස් අතුරුදහන් විය.

මේ මගේ අම්මාය.

ඇගේ ළැම මහා හය්යෙන් ගැහැන්නේ දෙල්කද සිට එක හැල්මේ බස් රථ දෙකකට නැගී කළුබෝවිල රෝහල් වාට්ටුවට දිව ආ නිසා නොවේ. ඇගේ ලැම ගැහෙන්නේ කිසිදු අනතුරක් උපද්‍රවයක් නැතිව මා මේ බංකුවේ ඉන්නා නිසාය.

උදා රැස්වීමේදී මගේ හිස බර වී කලාන්ත ගතියක් ඇතිවෙමින් තිබියදී ම පිටුපස්සේ උන් කොල්ලා මා අල්ලාගෙන තිබේ. ටික මොහොතක් යනතුරු මා අපැහැදිළි රූප දකිමින් උන්නෙමි. ඉන්පස්සේ කවුරුන් හෝ මා ඔසවාගෙන ගොස් බුදුමැදුරට මෙපිටින් පිහිටි කතෝලික මැදුරේ සීතල ලී බන්කුවක හාන්සි කල බවක් මට මතකය. වරින් වර කිහිප දෙනෙකු පැමිණ මගේ මූණ දෙසට එබෙමින් 'අනේ අපොයි..ඇයි දන්නෑ..මොකද කරන්නේ..'  ආදී වශයෙන් දුක් සහිත මුහුණු පෙන්වූවා මට යන්තමට මතකය. එහෙත් හදිසියේ යලි සියල්ල කළුවර වී ගියේය.
මා ඇස අරින විට මා සිටියේ ඇදක් උඩය. සුදු ඇද රෙදි අතරේ අතපත ගෑ මට මගේ අතට කටුවක් ගසා ලේ දෙමින් තිබුණේය. මම කෙදිරි ගාමීන් කෑ ගසන්නට තැත් කලෙමි. එහෙත් මගේ කෙදිරි ගෑම් වලින් පලක් නැත. මා වටපිට ඇදන් වල ඉන්නා වයසක අයටද මගේ ඉස්සරහා ඉන්නා තරුණ කිහිපදෙනෙක්ද මා දෙස ඇස් පිය නොගහා බලා ඉන්නේය. මට කුමක් වීදැයි නොදන්නවාට අමතරව මේ ඇස් වලින් මට මහා ප්‍රශ්න වැලක් අසන්නේය. මම යළි ඇස් පියාගතිමි. ඇස් පියාගෙන මහා හය්යෙන් ඇඩුවෙමි. අම්මා ලග නැත..මා දන්නා කෙනෙකුද නැත. මා ඉන්නේ ඉස්පිරිතාලයක බව පමණක් දනිමි. ඊට අමතරව දකුණු අතේ ගසා තිබෙන කටුවෙන්ද උදේ සිට කිසිත් නැති බඩෙන්ද මහා දැවිල්ලක් එයි.එහෙත් මා සනසන කිසිවෙකු නැත. සැනසීම කෙසේ වෙතත්  'දැන් හොදයි වගේ නේද..අපි සේලයින් එක ගලවන්නං ..අරපුටුවෙන් වාඩිවෙලා ඉන්න..' යැයි කී හෙදියගේ අකාරුණික හඩ (මෙතෙක් මට අර කටුවෙන් දී ඇත්තේ ලේ නොව සේලයින් බව දැනගත්තෙන් හිතට සනීපයක් දැනුනේය.) මට මෙතැනින් දුවන්නට හිතෙයි.  එහෙත් මා කොහේ දුවන්නද. මා ඉන්නේ කොහෙද..ඉස්කෝලෙන් මා මෙහි ගෙනත් දමා යන්නට ඇත්ද..අම්මා මා මෙහි බව දන්නවා ඇත්ද..මේ කිසිවකට මට උත්තර නැත. මා හගීමක් නැතුවම ඇස් වලින් කදුළු පෙරෙන්නට හැරියෙමි. ඒ කදුළු කඩා වැටෙන්නේ මටත් නොදැනීමය. මා මෙහි තනිවී ඇත.
  (ජීවිතයේ සමහර ඉතාමත් ආරක්ෂිත, සැපපහසුකම් සහිත, දෙනෝදාහක් ගැවසෙන ඕනෑ කරන ඕනෑම දෙයක් ලබාගතහැකි තැන්වල පවා මා මේ හැගීමෙන් තනිවී ඇත්තෙමි. ඒ හැගීම මෙහි සටහන් කල නොහැක. ඒ හැගීම අකුරු කල නොහැක. ඒ හැගීම පහල වූ විට මා අදත් සොයා යන්නේ අම්මාවය. ඇස් පියාගෙන මොහොතක් ඉන්නා විට මා අම්මාගේ සාරි පොටේ එල්ලෙමි. එවිට මා සුරක්ෂිතය. දශක   හතරකටත් පසු මා මේ හැගීමෙන් ගෙවූ දවස් තිබේ. ඉනුත් බොහෝ වෙලාවට මා උන්නේ ඉස්පිරිතාල වලය. මා අන්තිමට උන් ඉස්පිරිතාලය, ඉස්පිරිතාලයක් නොව හෝටලයකි. එහෙත් එහි මා බලන්නට ආ කෙනෙකු විදුලි සෝපානයට වැදී මැකී යනතුරු බලා ඉද මා මේ හැගීමෙන් අර සුවිසාල රෝහලේ තනිවුනෙමි. එදා මට ඇස් පියාගෙන හෝ අම්මාගේ සෙවනට යන්නට බැරි විය. ඒ හැගීම යලි මතු කරන්නට මා අදද අකමැත්තෙමි. )

එහෙත් අම්මා මා සොයා ආවාය. ඇගේ කටහඩේ ඇත්තේ වෙහෙසක් පමණි. ඈ මා සිඹ අර අකාරුණික හෙදිය ලගට ගියාය. හෙදිය ඈ සමග මා ලගට ආවාය. 'දැන් මුකුත් නෑනේ පුතේ..ඔයා උදේට කෑවෙත් නෑනේ නේද..ඔය ඇගට ශක්තිය නැතිකම..උදේට හොදට කන්න..'  මා ඇදෙන් පන්නා දමා මේ මකුණු බන්කුවේ වාඩිකරලූ ඇය අම්මා සමග විත් මා සනසන්නේය. මා කිසිත් හැගීමක් පිට නොකර අම්මාගේ අත තදින් අල්ලාගෙන සිටියෙමි. ඉන්පස්සේ අම්මා තවත් වෙලාවක් ගතකොට මොනවාදෝ අත්සන් කරමින් ලොකු කොල තොගයක් රැගෙන මා ලගට විත් 'යං' කීවාය. මා බන්කුවෙන් පැන්නෙමි. මට මෙතැනින් පලා යන්නට වුවමනාවක් තිබූ බව අම්මා දැනගන්නට ඇත. ඒ නිසා ඇය අර හෙදියට 'යන්නං කියා' එන්නටයි කීවාය. මම ඈ ලගට ගොස් මා යනවා කී විට ඈ මගේ ඔලුව අතගා ඇගේ ලග තිබූ පෑනක් මට දුන්නාය. 'ඕක ඔයාට..' ඈ ඇස් ලොකු කරන් බලා ඉන්නා මට කීවාය..මා එයටනම් කිසිත් නොකියා අම්මා දෙසට දීවෙමි.

අප දෙන්නා කොල පාට කෙටි තාප්ප අයිනෙන් දිගු කොරිඩෝව මැදින් එළියට අවෙමු. ඒ හැමතැනම ඇත්තේ එකම සුවදය. එය ඉස්පිරිතාල ගද ලෙස මා දැන සිටියෙමි. මගේ ජීවිතය පුරාම වරින් වර මේ සුවද අත්විද තිබේ. ඒ සුවද මැකී යන මොහොතේ හැරී බලන විට, කළුබොවිල ශික්ෂණ රෝහල ලෙස කලුපාටෙන් ඇද තිබූ සුදු බිල්ඩිම මගේ ඇස ගැසුණේය. ඉන්පස්සේ  මා දුටුවේ 'පෙරේරා බේක් හවුස් ' බෝඩ් ලෑල්ලයි. අම්මා මා කැටුව එහි ගොස් මේසයක වාඩිවූ සැණින් තලතුනා මනුස්සයෙකු මාලුපාන්, බිත්තර පාන්. ජෑම් පාන් නිකං බනිස් කිඹුලන් ආදී කැම තොගයක් බහාලු බන්දේසියක් ගෙනාවේය. අම්මා මට කන්නැයි කීවාය. මෙහෙම කන්නට ලැබෙන්නේ ආච්චීගේ පෙන්ෂන් දවසට විතරය. එහෙමත් නැත්නම් ආනන්ද අය්යාගේ පඩි දවසට විතරය. මම ඈ දිහා බලා සිටියෙමි. අම්මා සිනාසුනාය..'කන්න...සල්ලි තියෙනවා..' කීවාය. මම අර බන්දේසියේ තනිවුනෙමි. අම්මා කිසිත් නොකැවාය. මා බනිස් කැබැල්ලක් දිගු කල හැම විටම ඈ ' මට බඩගිනි නෑ' කීවාය.
(ඇගේ මේ මැජික් වචනය මා හදුනමි. අපේ අම්මාට කවරදාමකවත් බඩගිනි වෙන්නේ නැත. මට බඩගිනි කියා කියන එක දවසක්වත් මා දැක නැත. ගෙදරදී මුළින්ම තාත්තාටද ඉන්පස්සේ අපේ බෙලෙක් පිගන් හතටද බත් බෙදන අම්මා ඉතුරු වූ වලදක බත් කනු මා දැක ඇත. ඒ හැම වෙලාවකම අම්මාගේ ඇතිළියට බත් හොදි යලි බෙදන්නේ අපේ තුන්වෙනි අය්යාය. සමහර දාට ඒ අය්යා අම්මාට බැන වදින්නේය. ' ඔයා දන්කුඩ නේද කන්නේ ...ඇයි හැමෝටම එක වගේ බෙදන්න බැරි...' අය්යා සමහර දාට ඔහුගේ පිගාන සැරෙන් කුස්සියේ මේසය උඩ තබා යන්නේය. ඒ නිසාම අම්මා අය්යාගේ පිගානෙන් හොදි මාළු ටිකක් ගනී. ඒ අය්යා අදටත් වෙනස් වී නැත. )

අම්මා මගේ පෙරැත්තය නිසාම කිරිතේ එකක් බීවාය. මට කෑම අහේනියක් මිස වෙන උපද්‍රවයක් නැති එක ගැන ඈ සතුටු බව ඇගේ මුහුණෙන් පෙනේ. අප දෙන්නා එතැනින් මගට බැස නුගේගොඩට විත් දෙල්කද පැත්තට පයින්ම ඇවිද්දෙමු. මා හිතුවේ අප දෙන්නා යන්නේ ගෙදර කියාය. නමුත් අම්මා අපේ ඉස්කෝලෙත් පහුකරගෙන ටීන් ටික ඉදිරියට විත් නතරවුනේ ' බර්නාඩ් සොයිසා නර්සින් හෝම්' එක ලගය.

ප.ලි
ඉතුරු කතාව ඊලගට ලියමි. මන්ද අදත් මට කොණ්ඩෙ බැදපු එවුන්ට කන්න දෙන්නට යන්නට වී තිබෙන නිසාය.




Sunday, December 18, 2016

කොලු සීන්..



හය එෆ් සහ ඊ වෙන්වී තිබුණේ 'පිට' එවුනටය. ඇතුලේ පරණ එවුන් ඒ බී සී ආදී වශයෙන් තවත් පන්ති හතරක බලය අල්ලාගෙන  සිටියේය. ඔවුන් බාලංශයේ සිට මේ දක්වා ඉස්කෝලේ ආ එවුන් වූ අතර අප බොහෝ දෙනෙක් පිට පසල්වලින් ආ අය වූහ. මම ජයසින්හෙන් ආ එකම ලමයා වූ අතර..හයිලන්ඩ් එකේ කොල්ලන් හතර පස් දෙනෙක් දෙනෙක්ද..කළු අග්ගල පැත්තේ තව කිහිප දෙනෙක්ද අතරට දෙහිවල මහරගම පැත්තේ ඉස්කෝල වලින් ආ බොහෝ දෙනෙක් සිටියේය. පන්ති නාම ලේඛණයේ නොම්බර එක හිමියා අද ප්‍රධාන පෙලේ බැංකුවක විධායක නිළධාරියෙකි. හතරවැනියා දොස්තර කෙනෙකි. පස්වැනියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී පුනරුත්තාපන කදවුරකය. මා නිල්පාට ඕපල් කාර් එකේ එක්කාගෙන ගිය කොල්ලා පත්තර කතු තුමෙකි. මට උඩින් නොම්මරයේ උන් එකා හමුදාවේ උසස් නිළධරියෙකි. මට පහලින් නොම්මරේ ඇති එකා කෝටිපති ව්‍යාපාරිකයෙකි.  අනෙක් බොහෝ දෙනෙකු යුරෝපයේ රස්සාවල් කරමින් හොද ජීවිත ගතකරන බව අසන්නට තිබේ. ලංකාවේ ඉන්න අප හමුවුනොත් හමුවන්නේ කාගේ හෝ අම්මා තාත්තා කෙනෙකුගේ මල ගෙදරකය. එදාට අප මලගෙදරට ලගපාත තැනක  'සෙට් වී' මලගේකට නොව මගුල් ගේකට ආ ලෙස හැසිරෙන්නෙමු. මා එහි වරදක් දකින්නේ නැත. එහෙම මලගේකට යන්නට පෙර 'පොඩි එකක් ' දාගෙන යන පොරොන්දුවෙන් බොරලැස්ගමුව පැත්තේ හෝටලයකට වැදුනු අප ගියේ පහුවෙනිදා මල බතටය. ඒක නම් ලොකු වරදකි. මේ යාලුවා අදත් මැරුණු අම්මා මතක් කර අපට බනිති. ඒ බැන බයිට් නැතුව නං බෑ බන් කියති.

 ඒ කාලෙත් මෙච්චර ඇඹිට්ටෝ වීත් පන්ති බේදය ජයටම තිබ්බේය. ඒ නිසා කැන්ටිමේදී අපිව පැත්තකට තල්ලු වී ගියේ 'ඇයි මොකෝ..!' ජාතියේ බැල්මක් හෙලමිනි. නාම ලේඛන ගන්නට විදුහල්පති කාර්යාලයට ගිය විට අපේ පන්තිය නම ඉදිරිපිටින් අත්සන් කොට පියන් අංකල් පටලවා අපව රස්තියාදු කලේය. වතුර බොන්නට ටැප් එකට කට තිබූ සැනින් කරාමය කරකවා අප නැහැවුයේය. එහෙත් අප බලාපොරොත්තු නොවූ තව දෙයක් මේ වන විට සංවිධානය වෙමින් පැවතුනු බව අප දැන සිටියේ නැත.
 අද හයේ පන්තියේ ඉන්නා මගේ දරුවා දෙස බලන මට එදා හයේ කොල්ලන් මැවී පෙනේ. අපේ එවුන් මෙච්චර අහින්සක නොවී එදා ජාතියේ  කොල්ලන් වාගේ ඉන්නවාට මම ආසාය. එය බැනුම් අහන ජතියේ ආසාවකි. කොලුකමේ රඟ...
කෙසේ හෝ මම එදා පන්තියට ගිය විට කොල්ලන් වෙනදා නැති සතුටක උන්නේය. හේතුව උදා වරුවේ ගුරු රැස්වීමයි. ගුරු රැස්වීමට යන්නට පෙර පන්ති බාරව සිටි ගුරුවරිය පළමු පාඩම බලාගන්නා ලෙසත් රැස්වීම අවසාන වූ වහාම ප්‍රශ්න අහන බවත් කියා යන්නට ගියාය. මේ වන විටත් පන්ති නායකයෙකු තෝරා අවසන් වී තිබූ අතර මේ කොල්ලා කේලාම් කීමේ සම්ප්‍රදායෙන් බැහැරව 'අපේ පැත්තේ' සිටීම අප හැමගේ සතුටට හේතු විය. ඒ නිසා පාඩම් පොත් යලි බෑගයට ගියේය. ගුරුවරිය යන්නට ගියාය..මේ වන විට ඉස්කොලේ පටන් අරන් වැඩි කාලයක් නැති නිසා අපට පාසල වටපිටාව පිළිබද ලොකු දැනුමක් තිබුනේ නැත. මගේ පන්තිය මායිම හා ඒකනායක මාවත අතර පරතරයේ ඉපිල් ඉපිල්ගස් හිටවා සෙවන දී තිබූ අතර ඉපිල් ඉපිල් කොල වැටී බිම හැම තැනම දුඹුරු පාට වී තිබුනේය. සමහර දාට ලොකු හුලං පාරක් සමග මේ ඉපිල් ඉපිල් අපේ පන්තියට දැල් අස්සෙන් ගසාගෙන එයි. එය වරුවක් වැඩ නැවැත්තීමට සමත්ය. 
මේ කාලයේ අප එකිනෙකා අදුනාගමින් සිටි අවධිය නිසා ලොකු කෑ ගෑමක් නොතිබුනු අතර එදා මේ කියන වෙලාවේ හදිසියේ අපේ පන්තියේ දොරට කවුරුදෝ පයින් ගැසුවේය.ඉන් ඇතුලට ආවේ ඩී හෝ සී පන්තියේ කොල්ලන් රැනකි. එකෙක් 'කෝ තොපේ මොනිටර්..'කියා ඇසුවේය. අපේ මොනිටර් අහින්සකයා අත උස්සනවා සමග 'මෙහෙ වර..!' කිය තගරියක් දැම්මේ මේ රෑණේ ලොක්කා වන කොල්ලාය. ' හරි...! අලුතෙන් ආපු එවුන් සින්දුවක් කියපන්'  කීවේද ඔහුමය. අප කිසිවෙකු සින්දුවක් තියා හ්ම් කියාවත් කතා නොකෙලෙමු. 'තොපි අපේ ඉස්කෝලෙට පිටින් ඇවිත් ලොකු සීන් බෑ...හරිය..!!! කිව්වෙත් ඔහුය. අපට ලොකු සීන් තියා මේ ඉස්කෝලේ ඉමක් කොනක් නොදන්නා 'අතරමං සීන්' එකක් තිබුණු පිරිසක් විය. එහෙත් චණ්ඩියා මොන මොනවාදෝ කිය කියා ඉන්නා අතරේ එකවරම 'හුණු කොට්ටේ' උඩින් ආවේය. ඇවිත් අර චණ්ඩියාගේ මූණේ වැදුණේය. හුණු මූණේ වැදීම ලේසි නැත. හුණු ඇහේ වැදී අර චණ්ඩියා නම් කීපයක්ම කෑ ගාමින් පන්තියෙන් එළියට පැන්නේය.. නම් අඩ ගෑවේ මට ගැහුවා කියන්නටය. ඒ ක්ෂණයෙන් තව හතරක් පහක් පන්තියට පැන්නේය. දැන් පන්තියම එකම ගුටි කෙළියකි. අතින් පයින් ගහගන්නා උන්ද..බිම පෙරලගෙන දූවිළි නානා උන්ද තරගෙට ගහගනිති. ඒ අස්සේ හුණු කොට්ටේද සුදු හුණු වලින් අප නහවමින් බිත්තිව්ල වැදී වැදී විසික් වෙයි. අලුත් හුණු කොට්ටයක් මසාගෙන එනතෙක් කළින් පන්තියේ ළමුන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරන්නට ඇති හුණු කොට්ටේ අපටම කල හූනියමක් බදුය. අන්තිමේ පසුපස මේස වල නැග මේ සෙල්ලම බලා ඉදි අපට ඉපිල් ඉපිල් ප්‍රහාරයක් එල්ලවුනේය. වේළුණු ඉපිල් ඉපිල් කොල අහුරු පිටින් ගත් අනෙක් කොල්ලන් අපේ පන්තියට අත හැරියේ 'නරක වචන ' ද කියමිනි. ඒ මැද්දෙන් 'ඔය බලං ඉන්න එවුන්ටත් ගහපල්ලා' කී සැණින් මටත් ඩෙස් බංකුවක් යට වැටෙන්නට එකෙක් ගැහුවේය.ඒ එක්කම කාගේදෝ කටහඩක් ඇසී රැග් දෙන්නට ආ කොල්ලෝ දුවන්නට ගත්තේය. අප පන්තියේ ඉතුරු වුනේ මහා සුළි සුලගක් විත් මේ දැන් නතර වුනා සෙය.
අපේ කළබලය ඇසී පන්තියට ඇවිත් තිබුණේ ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙකි. ඔවුන්ට අපේ අවනඩුව තේරී තිබුණේය. එහෙත් පලමු දේ පලමුවය. පන්තිය අස් කරන්නට ඕනෑය..අතු ගාන්නට ඕනෑය..කමිස බොත්තං කැඩී ඇති එවුන්ට 'ස්කවුට් රූම්' එකෙන් මහගෙන එන ලෙස යැවිණි. හුණු කොට්ටය නවැත කලු ලෑල්ලේ ඇනයේ එල්ලා තැබිණි. ඉන්පස්සේ වුනේ මොකක්දැයි උසස් පෙළ පන්ති වල ඉන්නා එවුන් වන්නට ඕනෑ අය්යලාගෙන් ප්‍රශ්න වැලකි. අපි අතිනුත් බොරු දමා කීවෙමු. එහෙත් ඉන් එක කොල්ලෙකුගේ හෝ නම් අප දැන සිටියේ නැත.
 (මේ එක කොල්ලෙකු ගැන මට මේ ලගදී හමුවූ මිතුරෙකු කීවේ විශ්වවිද්‍යාළයේ නවක වදයට අසුවී මානසිකව ලෙඩ වී අධ්‍යාපනයද කඩාකප්පල් කර දමාගෙන දැන් තෝන්තුවෙන් මෙන් ඉන්නා බවයි. ඔහු පාසලේ දක්ෂ ශිෂ්‍යයෙකු බව මට මතකය. දෛවයේ සරදම නම් එහෙමය. )
අන්තිමේ හදුනාගැනීමේ පෙරට්ටුවක් තිබිණි. සී හා ඩී පන්තිවලට ගොස් ගහන්නට ආ කොල්ලන් හදුනාගන්නා ලෙස අපට නියම කෙරිණි. ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඊට කලින් ' සමහර දේවල් අදුනාගැනීමෙන් පලක් නැති බව මතක් කරමි' කියා අවවාදයක් දුන්නේය. ඒ අනුව යමින් අප කිසිවෙකු අදුනා ගත්තේ නැත. පන්තිබාර ගුරුවරිය ' ඔයගොල්ලෝ ගෑනු ඉස්කෝලවලින් ආ අයදැයි අසා ' බයගුල්ලෝ' ලෙස අපව බෞතීස්ම කලේය. කලේය. ඉන්පස්සේ  පන්තිබාර ගුරුතුමියගෙන් සමාව ගන්නට අර කී පන්ති දෙකේම කොල්ලන් ආ අතර සිද්ධියට සම්බන්ධ නැති අය පෝලිමේ එන ගමන් 'වලියට' ආ අයට දෙහි කපනු අප දැක්කෙමු. අප උන්ට හිනාවුනෙමු..එහෙත් වැඩි වෙලාවක් හිනාවන්නට ලැබුනේ නැත. අපටද පෝලිමේ ගොස් අර පන්ති දෙකෙම ගුරුවරුන් ගෙන් සමාව ගන්නා ලෙස අණ කෙරිනි. විනය බාරව සිටි හාමුදුරුවන් පැමිණ චූ යන්නට බැන්නේය. එදා අපට ගහන්නට ආ එවුන් පසුව පන්ති මිශ්‍රකර අපේ පන්තිවලට පැමිණ අපේ හොද මිතුරන් වූහ. එහෙම එකෙක් මේ ලගදී..'අඩෝ... උඹට එදා මං ඩෙස් එක යට දාගෙන ගහපු එක මතකදැයි ..'ඇසුවේ හොදටම වැඩිවී මගේ කරේ එල්ලීගෙනය. එදා ගහගත්තේ නැත්නම් අද අප මේ තරම්වත් මිතුරුදම් තබාගන්නේ නැති බව මට විස්වාසය. එයත් බැනුම් අහන්නට පුලුවන් කාරණයකි...මට ඒ ගැන සතුටුය...
කොලුකම ඉතා හොදය...

Thursday, December 15, 2016

වයිස් ප්‍රින්සිබල් අයියා....


ඉරිදාපොළ ඉදිරිපිටින් පටන්ගෙන දෙල්කද පාලමත් පහුකරගෙන යන මට අද අමුතුම හැගීමකි. නුගේගොඩ පිරිමි පාසලට යන දෙවැනි දිනය මෙන්ම තනියෙන් යන පළමු දිනය අද නිසා මේ හැගීම අමුතුම එකකි. ජයසින්හෙන් මා සමග එහි යන්නට කිසිවෙකු නැත. අනෙක වෙනදා මෙන් නොව මට අලුත් කලිසමක් කමිසයක් හා සපත්තු දෙකක් ලැබී තිබේ. පොත් බෑගයක් හා ඒ ඇතුලේ පොත් දුසිමක් පමණ අලුත්ම අලුත්ය. ඒ ඔක්කොටම වඩා ප්ලාස්ටික් පෙට්ටියක බහා සීනී සම්බෝල මැදි කල පාන් කාලක් මගේ බෑග් එකේ තිබේ. ඒ දුටු අක්කා ' බලං ඉන්නවා හෙට හම්බවෙයි ඉටිගෙඩියක්...අද විතරයි තමුසෙට ඕක..' කියා සමච්චල් හිනාවක් පෑම මට ඇල්ලුවේම නැත. අක්කා 'ඉන්ටවල් එකට ' කෑම ගෙනියනු මාද දැක නැත. එහෙත් දැන් දකින හීනය හෙට දකින ඇත්තට වඩා හොදය කියා හිතා මා නිහඩ වුනෙමි. මා දැන් අලුත්ම අලුත් කෙනෙකි. එහෙම අලුත් හැගීමක් ඇති විට අලුත් ඇවිදිල්ලක්ද ඕනෑය. මම කොන්ද කෙලින් තබාගෙන වට පිට වැඩිපුර නොබලා ඇවිද්දෙමි. (එදා ඇවිදපු හැටි අද බලන්නට ක්‍රමයක් තිබ්බා නං..) මා දිහා අටේ කණුවේ සිට නුගේගොඩ දක්වාම උදෙන්ම වැඩට යන්නට ඇවිත් ඇති අයද, ඉස්කෝලවලට යන්නට ඇවිත් ඇති අයද බලා ඉන්නවා ඇත. ඔවුන් මදෙස 'ආං අර කොල්ලා අද අලුතෙන්ම ඉස්කෝලෙකට යනවා..' කියා හිනාවකින් සන්ග්‍රහ කරනු ඇත. හැබැයි එහෙම හිතන් හිටියාට එහෙම කිසි දෙයක් උනේ නැත. එකම දේ මම පයින්ම ඉස්කෝලෙටම ගිය එකය.

දෙල්කද සිට නුගෙගොඩට දුර කිලෝමීටර දෙක තුනකට වඩා නැත. මේ දුර යන්නට සීසන් එකක් මට අරන් දී තිබේ. ඊට අමතරව අම්මා මගේ අතට සත පනහක් රුපියලක් දුන්නා මතකය..එහෙත් බස් වලට නැගීමට කාල සටහනක් මා දැන සිටියේ නැත. අක්කා මට කලින් නැගිට 'ස්කූල් බස්' එක අල්ලා ගැනීමට අටේ කණුවට ගියාය. ඇයට සුදුපාට ගවුමට උඩින් කහපාට ටයි ඇදගත් කෙල්ලන් පිරුණ සීටීබී බස් එකක්ම තිබුණ නිසා ප්‍රශනයක් නැත. මටත් ඒකේම යන්නට හිතුනත් 'ඊයා අපේ බස් එකේ කොල්ලො නග්ග ගන්නේ නැතැයි කියා ' ඈ හිනාවී දිව්වාය. මම අම්මා දුන් සල්ලිත් සාක්කුවේ දමාගෙන පයින්ම ගියෙමි. ඒක ලේසි නැත. හතේ කනුව ලන්වන විට දාඩිය බින්දු කන ගාවින් බේරී ඇවිත් බෙල්ල දිගේ කලිසම ඇතුලටම බහී. ඒත් උත්සාහ කලොත් අත නාරින ගතියක් ඇති නිසා ගම්සබා හන්දියෙන් බස් එකක නගින්නට සිතුනත් දිගටම පයින්ම ගියෙමි. ඉස්කෝලේ ලං වෙත්ම කකුල් ගැහෙන්නට පටන් ගනී. මම මේ තරං ලොකු ඉස්කෝලයකට ගිහින් නැත.

ඒ ලොකු ඉස්කෝලවල මොනවා වෙනවාදැයි දැනගන්නට කෙනෙක් හිටියෙත් නැත. ලොකු අම්මාගේ දුවද ගියේ ගෑනු ඉස්කෝලෙකට නිසා පිරිමි ඉස්කෝල ගැන අහගන්නට කෙනෙක් නැත. ලොකු අක්කා දෙවැනි අය්යා මේ වන විට පාසල් හමාර කොට තිබිණ. තුන්වෙනි අය්යා ගියේ මිශ්‍ර පාසලකටය. ලොකු අය්යා ගෙදර සිටියේත් නැත. මේ කාලයේ බොහෝ දේ සිදුවුනේ මම ම තනිවම කල්පනා කොට තීන්දු කොට  හිතා ගත් හැටියටය. එහෙම වෙන එකේ හොදකුත් තිබේ. එවිට නිදහස් තීරණ ගත හැක.

කෙසේ හෝ ඉස්කෝලයට ලං වෙද්දී මට පොඩි නොව ලොකු ගැම්මකුත් ආවේය. ඒ එකෙක් දෙන්නෙක් නොව ලක්සයක් විතර කොල්ලන් මේ ගේට්ටු පළු දෙක මැදින් මහා ඝෝෂාවක් සමග ඉස්කෝලේ ඇතුලට යනු දැකීමෙනි.  සමහරුන් හතරපස් දෙනෙකුගෙන් බැදි කල්ලි ගැසීය. සමහරුන් පොත් බෑග් වලට අමතරව පාට පාටෙන් විසාල කාඩ්බෝඩ් රෝල් බදාගෙනය. මටත් එහෙම ලොකු ලිස්ට් එකක් තිබ්බාට අම්මා කීවේ 'ඔය ලිස්ට් එකේ තියෙන ඔක්කොම අදම ඕනේ වෙන්නේ නෑනේ..අද ගිහින් එනවකො..'කියාය. මම මේ එකී නොකී සිතිවිලි ගෝනියක්ම කරේ තබාගෙන අර කොලු රැලට එකතු වීමී. ගේට්ටුවෙන් ඇතුල් වන කොල්ලන් එකල 'මේන් බිල්ඩිම' මැදින්  ඇති ආරුක්කුවෙන් සද්ද නැතුව යති. ඒක හරි පුදුමයකි. ගේට්ටුව ලගට එන විටත්  මාසයක් කට ඇරගන්නට බැරිව හිටියා සේ කියවන එව්වෝ  ආරුක්කුව 'මීක්' නැතුව පසු කරති. (ඒකට හේතුව ආරුක්කුවට දකුණු පැත්තේ කලු අකුරෙන් 'ද ප්‍රින්සිපල්ස් ඔෆිස්' කියා ලියා ඇති බෝඩ් ලෑල්ල බව මා දැනගත්තේ ගොඩ දවසක් ගිය පසුවය.) ආයෙත් අර තණකොල ගහක් නැති පිට්ටනියට වැද..ධූලි කන්දක් නගමින් අර වැහුණු කටවල් යලි අරිමින් කොට තාප්ප ඇති පන්තිවලට ඇදෙති. ඒත් දවසේ පලමු සීනුව වදින තුරු මේ ඝෝෂාවේ  අඩුවක් නම් නැත.

(පසුකාලීනව රස්සාවල් කරන සමයේ මේ සද්දය ගැන මට මතක් වන තැන් තිබේ. ඒ නුගේගොඩ පුබුදු එකත්, මහරගම නම මතක නැති එකත්, බොරැල්ලේ ඊ ඒ පී එකත්, ඒපෙක්ස් එකත්; හෝමාගම හිල්ටොප් එකත් ගම්පහ මෙමෙන්ටෝ ආදී නොයේකුත් තැන්වල බාර් රෙස්ටුරන්ට්ය . මේවාට ගොඩ වදින විට මේස අරක් ගෙන සිගරට් පත්තු කරගෙන මහ උස් හඩවලින් කතා කරන මිනිසුන්ගේ හඩ, මට ඉස්කෝලේ මතක් වෙයි. එහෙත් බාර්වල මා කැමැතිම දේ මේ කන්දොස්කිරියාව ඉවසාගෙන දෙකක් දා ගත්විට අර සද්ද කිසිත් නොඇසීමට පටන් ගැනීමය. ඒ වෙලාවට මා වටපිට බලමි. අත්පා වීසී කරමින්, වාද විවාද නගමින් කෙරෙන කතා බහ මට ඇහෙන්නේ නැත. අල්ලපු මේසයේ කෙරෙන කතා බහ පවා මට ඇහෙන්නේ නැත.දෙකක් දා ගන්නට පෙර මට නෑහෙන අපේ මේසයේ හඩ නූලට ඇහෙන්නේය. හරිම පුදුම ආශ්වාදයකි. )

අන්තිමේ මා එහෙන් මෙහෙන් තෙරපී මගේ අලුත් පන්තිය සොයාගන්නට බැරිව අතරමං වීමී. මගේ අන්දමන්ද බාවය දැනගෙනදෝ, සුදු දිග කලිසමක් ඇදි කොල්ලෙකු විත්  'කොහෙද යන්නේ...අද නේද ආවේ..' කියා ඇසුවෙන් මම  'ඔව්' කීමී. මොකක්ද පන්තිය කියා ඇසූවත් මට එලොව මෙළොව අවුල් වාගේ නිසා 'යං..' කියා මාද රැගෙන මේ කොල්ලා ඉස්සර විය. මා ඔහු පස්සේ වැටුණෙමි. මේ කොල්ලා කලිසම කමිසය ඉතා පිළිවෙලට මැද, සුදු බදපටියක්ද පැලැද,  සුදු සපත්තු දෙකක්ද දා මා ඉදිරියෙනි.  සපත්තු දෙක දුටු හැටියේ කලු හැරෙන්නට මේ ඉස්කෝලේ දුටු පළමු සුදු සපත්තුව ගැන කුකුසක් ඇති වුනත් මම ඔහු පස්සේ වැටුනෙමි. ඒ යන ගමන් මගෙන් ප්‍රශ්න පත්තරේකට සරිලන්නට ප්‍රශ්න ඇසුවේය. අන්තිමේ එහෙම  මොකක්දෝ දෙයක් මගෙන් ඇසූ විට මේ කරදර කාරයාගෙන් බේරෙන්නට 'අය්යා යන්ඩ මං පන්තිය හොයගන්නං' යයි බයාදු ලෙස  කීමී. ඔහු එතැනින් පස්සේ කිසිත් කතා කලෙත් නැත. ගමන නැවැත්තුවේ වත් නැත. ඔහු ගියේ 'හය එෆ් ' කියා ලොකු අකුරෙන් සදහන් කල පුවරුවක් ඇති පන්තිකාමරයකටය. මේ පන්තිකාමරය තට්ටු දෙකේ එකකි. එහි යට තට්ටුවේ හය එෆ් පන්තියට මා ඇතුල් කල සැණින් පන්තිබාර ගුරුතුමිය වන්නට ඕනෑ වන 'මිස්' නැගිට්ටාය. 'සර්...ගුඩ් මෝනිං ..' කීවාය. මම හැරී බැලුවෙමි..ඕනෑම නන් මට වඩා අඩියක් උස ඇති මේ කොල්ලාට සර් කියන්නේ මන්දැයි මා හිතන්නටත් පෙර අර 'මිස්' ළමයි නැගිටලා අයුබෝවන් කියන්න....මේ අපේ ඩිපියුටි ප්‍රින්සිපල් ' කීවාය. මට කොහේදෝ නැති චූ බරක් ආවේය. ළමයින් එකසැරෙන් මහා හය්යෙන් 'ආයුබොවන් සර්'  කියා  නැගිට ඉදගත්තේය. ඒ අස්සේ එක කොල්ලෙකු මා හැදින හිස් ඩෙස් බංකුවක් පෙන්නා අතින් එන්නටැයි කීවේය. ඒ මා එදා   තාත්තාගේ කාර් එකේ එක්කා ආ කොල්ලාය. මම ඒ ඩෙස් බංකුව අයිති කරගත්තෙමි.

මේ සර් බස්නාහිර පලාත් සබාවේ ඇමැතිතුමෙකුගේ සොහොයුරෙකි. ඒ සර් ඉතා කුඩා සරීරයක් තිබීම නිසා අපේ විහිළුවට ලක්වුනද, සර් අපව කිසිදා විහිලුවට ගත්තේ නැත. සර් මා ඉස්කෝලෙන් අයින් වනතුරු තම  කාලය කැපකොට මේ  අමාරුකාර කොල්ලන් දමනය කර හරි මගට යවන 'මනුස්ස  ගුරුවරු' අතරේ උන්නේය. ඉන්පස්සෙත් එහෙම ඉන්නට ඇත.

Thursday, December 8, 2016

ඉස්කෝලෙත් ගියා ඉතිං..


නුගේගොඩ ඉස්කෝලෙන් විභාග ප්‍රතිඵල ආවේ කොහොමදැයිද, ලකුනු කීයක්දැයිද, ලියුම ආවේ කවදාද කාටද කියා මා නොදනිමි. එහෙත් මා දෙසීය ගනනකින් දාසය වෙනියාට තේරී තිබුනේය. පොත් දෙක තුනක් පාඩං කිරීමෙන් එහෙම කරන්නට මොලයක් තිබීම සතුටකි. අනෙක පසු කලෙක දැනගත් පරිදි මගේ පන්තියේ ගොඩක් එව්වෝ අමතරව ඉගෙනීමට ගුරුවරු ලගට ගොස් සමත් වූවෝ වූහ. කෙසේ වේතත් මම ආඩම්බරය ඉහ මුදුනටම ගතිමි. සමහර නෑයො මා ශිෂ්‍යත්වය සමත් වී නුගේගොඩ ඉස්කෝලෙන් 'කතාකර' ගෙන්නා ගත් බවට සිතා ඇතැයි පෙනෙන්නට මම ලොකු කතන්දර කීමී. ඒ ආඩම්බරකම අම්මා වෙනුවෙනි.

එහෙත් තව ගැටළුවක් තිබේ අලුත් ඉස්කෝල වලට යනවිට මුල ඉදන් ලෑස්ති වන්නට සිදුවෙයි. අලුත් ඇදුම් ගන්නට සිදුවෙයි. අක්කා මෙන් අගුරු ඉස්ත්‍රික්කෙන් මදින්නට සිදුවෙයි. ඉස්ත්‍රික්කේ පරක්කු වූ දාට පොල්කටු පුච්ච පුච්චා ඉන්නට වෙලාවක් නැත. ඉස්ත්‍රික්කේ පරක්කුය කියන්නේ ලොකු අම්මාගේ නිසාය. සමහර දාට ඈට අප සමග කේන්ති යයි. එය සාධාරණය. අපේ අමන වැඩ වලට කේන්ති නොගෙන පුළුවන්ද...එදාට අක්කා හිස් අරක්කු බෝතලයකට උණුවතුර පුරවා ඇදුම උඩින් රෝල් කරනීය..මට මේ සෙල්ලං අරහංය. මට මේ කෙළි කර කර ඉන්නවාට වඩා තව බොහෝ දේ තිබේ..

ගස් දෙක තුනක් බලාකියා ගත යුතුය. ආනන්ද අය්යලාගේ වහලය උඩ මගේ 'ස්ටෝරුව' ගැන බලාගත යුතුය.ටයර් එක පැදගෙන 'උස ළමයාගේ' ගෙවල් පැත්තෙන් රවුම්ක් යා යුතුය. උස ළමයා ගෙවල් පේළියේ කොටු දැල් අස්සෙන් බලා හිටියේ නැත්නම්ද..(එ ගෙවල් වල ආලින්දය වසා කොටු දැලක් ගසා තිබුනේය.) එහෙම බලා ඉද කෝල හිනාවක් පා ගේ ඇතුලට ගියෙ නැත්නම්ද කිසි ගතියක් නැත. එක දිගටම දැලේ එල්ලී බලා සිටියොත් කිසි ගතියක් නැතිය. ලී මඩුවේද ටික වෙලාවකට වැඩ තිබේ. අනෙක ඩග්ලස් අය්යාගෙන් ඉදහිට ලැබෙන රාජකාරී පණිවිඩ අත හරින්නටද බැරිය. අන්තිමේ මේ ඔක්කොම ඉවර වන විට මට ඇදුං අයන් කරන්නට, අක්කාට මෙන් කැන්වස් සපත්තු සෝදා හංසයා ලකුන..? සුදුහුණු කැටය දියකර ගා වේලන්නට, මැලිබන් බිස්කට් පැකට්වල කවරයෙන්  පොත්වල 'පිටකවර' දමන්නට වෙලාවක් නැත.(මැලිබන් කවර, සිමෙන්තිකොල කවර, ඝනකම මදින කොලයේ සගරා  කවර දැමූ විට හය්ය වැඩිය. පස්සේ කාලෙක ආ බ්‍රවුන් පේපර් වැදගැම්ම්මකට නැත.)  එහෙව් එකේ පාඩමට මොන වෙලාවක්ද..ඒත් කොහොමහරි මේවා සිද්ද වුනේය. මගේ වාසනාවට ගෙදරම අය්යලා දෙන්නෙක්ද අක්කලා දෙන්නෙක්ද උන්නේය. අම්මා බැන බැන ' මේ කොල්ලා හෙට ඉස්කෝලේ යන්නේ කොහොමද..' කියා මේ හතර දෙනාටම බනින්නේ ඒක උන්ගේ වරද වගේය. අයියලා අක්කලා මට රව රවා, බැන බැන මගේ වැඩ කරදෙති.  බඩපිස්සෙක් වීමේ වාසනා ගුණය ඒකය.

 ඊලගට 'සීසන්' එකය. මාසෙටම සීසන් එකක් ගන්නට එක්කෝ උඩහමුල්ලට යා යුතුය නැත්නම් මාසේ අන්තිම දව්සක ඉස්කෝලෙට එන සීටීබී එකේ නිලධාරියාගෙන් ගත යුතුය. මේ සීසන් එක ගැනුමට පරන සීසන් එක දිය යුතුය. පසු කලෙක සීසන් එක කපා නොගෙන 'ක්ලීන් සීසන්' එකක් තබාගැනීමේ තරගයක්ද අපේ එව්වෝ අතර විය. එහෙමත් දවසක 'කොන්දා අංකල්' පර කමට සීසන් එක, අර හෙලවී හෙලවී ඇදෙන බස් එකෙ කනුවකට හේත්තු වී කපා දමන්නේය. මේ කැපිල්ල ලේසි පහසු නැත. අගල් තුනෙ තුනේ කාඩ්බෝඩ් කැබැල්ලක දවස් තිහටම කොටු සලකුණු කොට ඒ කොටුවකුත් යන-එන ගමන් සදහා දෙකට බෙදු පසු ඇහැට අහු නොවෙන තරමේය. ඒත් සමහර 'කොන්දෝ' තරහට මෙන් මේ කොටු කපන විට හිත පුපුරු ගහන්නේය. එහෙත් මේ කොන්දෝ කිසිදා ළමයින් අතැරමග දා ගියේ නැත. නහර පුප්පාගෙන ඇස් ගෙඩි එළියට දමාගෙන සීනුවේන් එල්ලී 'බස් බාසාවෙන්' අපව එතෙර කලෝය. එච්චර අමාරුවක් නැතුව අපව මග දමා යන්නතද තිබිනි.එහෙත් ඔවුන් මේ 'යක්ස ලමයින් ' මග දා ගියේ නැත. කලින් කී  'ක්ලීන් සීසන් ගේම්' එක සදහා මා නුගේගොඩ සිට පයින්ම ඇවිත් තිබේ. ඒ අමාරුව ඉතා ප්‍රියජනකය, සුන්දරය. ඒ වටා බැදුනු මහා ලෝකයක් තිබේ. අපේ දරුවන්ට නැත්තේත් ඒ ලෝකයමය.

ඒ අතරේම  කොටස් දහ පහලොවකට වඩා කඩාගෙන 'බෙදාගත්' ස්කූල් බස් අපට තිබ්බෙය. චණ්ඩිකං, සල්ලිකාරකං, ලව් හුටපට වලට බෙදුනු බස් එකේ අපට නිශ්චිත තැනක් තිබිණි.   අපේ ඉස්කෝලෙට නැති 'ස්කූල් බස් ' ගැන අපට හැමදාම වෛරයක් තිබ්බේය. අප ඒ නිසාම නුගේගොඩින් පටන් ගන්නා සීටීබී බස් එකක් පාදුක්ක දක්වාම අපේ කොට අරක් ගෙන සිටියෙමු. අපි කුඩා එවුන් කල ලොකු අය්යලා මාසෙකට සැරයක් කීයක් හෝ එකතු කොට මේ රියදුරාටත් කොන්දොස්තරටත් දුන්නේය. මම සාමාන්‍ය පෙල කරද්දී ඒ මුදල් එකතු කිරීමේ වැඩ පැවැරී තිබුනේ උසස් පෙල අය්යලාගෙනි. ඒ කාලය කොතරම් සුන්දරද...! ෆාතුමා එකේ තෝසේ කන්නට අය්යලා රොතු පිටින් යන එකේ රහස මා දැනගත්තේද මේ සල්ලි එකතු කිරීමට ලැබීමෙනි. ඒත් ඒවා හොරකම් වලට වැටෙන්නේ නැත. අය්යලා විසින් අපට එකතු කර දෙන්නට කියූ ගානට වඩා හැමදාම කීයක් හෝ වැඩියෙන් තිබිණි. ඒ වාගේම අඩුවෙන් තිබූ දවසට එහෙම ෆාතුමා 'නොගිය' බවක් මට මතක නැත.

අන්තිමේ මා ඉස්කෝලේ ගියෙමි. පළමු දවස අද වාගේ මට මතකය. මන්ද දෙවැනි දවසේ සිදුවූ සිදුවීම් දෙකක් නිසාය.(මෙස් සිදුවීම් දෙක ඊලගට ලියමි. ලොකු පුතා මෙවර විබාගයට පෙනී සිටින නිසා මට රියදුරු වැඩැ අධිකය.) ඉස්කෝලෙන් ආ ලියුමට අනුව සියල්ල ලැහැස්ති කරගෙන  පළමු දවසේ අම්මාත් සමග ගියෙමි. එදා අප දෙල්කද හන්දියේ බස් නැවැතුමේ ඉදිද්දී නිල්පාට ඕපල් කාර් එකක නැගී අප දෙස බලාගෙන ගිය මගේ විබාගයට ආ ලමයා මට අදත් මතකය. ඔවුන් අප දැක නවත්වා අම්මාවත් මාත් එහි නංවාගෙන ගියෝය. කාර් එකකින් බහින එක ලේසි පාසු දෙයක්ද කියා මාත් කාර් එක අනුන්ගේ වුව, මගෙ වගේ බැස්සෙමි. අප දෙන්නා එදා සිට මීට අවුරුදු හතකට මෙහා වනතෙක් ගජ මිතුරෝ වීමු. දැන් ඔහු ලංකාවේ ප්‍රධාන ඉරිදා පුවත්පතක කතු තුමෙකි. ඔහු හොද මිනිහෙකි. එහෙත් මගහැරී ගිය එක තැනක් නිසා මා ඔහුවත්- ඔහු මාවත් අතහැර දැමුවේය. කවදාහෝ ඔහු යලි මේ අතපසු වූ තැන දකින බව මට සහතිකය. මීට අවුරුදු කිහිපයකට පෙර මේ මිතුරාගේ දරුවන් බලන්නට ගොස් එන අතරතුර   මම ලියූ කවක් මෙහි තබමි. මම කව් පැබැදීමේ අසමත් වෙමි.
මේ මගේ හිත කියූ කවයි.

තාත්තෙක් ඕනෑය මට...
 
තුනේ පන්තියට මට ලැබුණු
ලොකුම ලොකු තාරකාවට
දිළිසෙන ඇස් දෙකෙන් බලන
තාත්තෙක් ඕනෑය මට...

තාත්තා ගැන හිත හිතා මං ඇදපු චිත්‍රයේ
සිහින් පාට ඇද- ඉරි හදන
ජීවිතේ ලොකු සිතුවමක් උන
තාත්තෙක් ඕනෑය මට..

මගේ පොඩි හිත කියන
පුංචි කවි පන්තියට
බිත්තියේ තනිවෙන්ට නොතියන්න
නළලත උණුසුමට සිඹින
තාත්තෙක් ඕනැය මට..

මං නොදන්නා මුළු ලෝකෙටම
මහා ලොකු කතාවක් කියන
මං නොදන්නා   මහා ලොකු හිනාවක් තියෙන
මහා ලොකු කෙනෙක් බව දන්න
ඒත්  ඒ මගේ පුංචි ලෝකය වටින්නේ නැති
තාත්තෙක් නොව
පුංචි මිනිහෙක් වුනත්- මහා ලොකු හදවතක් තුයෙන
තාත්තෙක් ඕනැය මට ..

(මට වඩා නංගිගේ හිතට..)

Tuesday, December 6, 2016

කෙල්ලො නෑනේ ....


පහේ ශිෂ්‍යත්වය සදහා ජයසින්හයේ ලොකු බලාපොරොත්තු තිබුනේ නැත. අක්කා ශිෂ්‍යත්වයට පෙනී සිටි අවුරුද්දේ නම් ඒ ගැන ලොකුවට කතා වුනාට මගේ අවුරුද්දේ ඒ ගැන කිසි 'ගෝ' එකක් තිබුනේ නැත. එකෙන්ම අපේ කෙරුවාව ගැන ගුරුවරුන්ට තිබුන දැනුම මැනගන්නට හැක. එහෙත් අපට තිබුනේ පහේ පන්තිය දක්වා පමණි. ඉන්පස්සේ වෙනත් පාසල් සොයා යාමට දෙමාපියන්ට සිදුවිය. එහෙත් අම්මා සිතා සිටියේ මා ශිෂ්‍යත්වය සමත් වනු ඇති කියාය. ' එයා හිමිජ්ජා වගේ හිටියට ඕක කරගනී..' අම්මා කිහිපදෙනෙකුටම කියනු මා දනිමි. අන්තිමේ අකලට ඉස්කෝලේ ගොස් පොතක් පාඩං නොකර කිසි පිළිවෙලක් නැතිව සිටීමේ ප්‍රතිඵලය ලැබිණ. මට ලකුණු සීයයකට අඩු ගානක් ලැබී පහේ වැඩිම ලකුණු ලාභියා වී ජයසින්හෙ උදා රැස්වීමටවත් 'චාන්ස්' එකක් නොලැබී 'විසික්' විනි. අද මට ඒ උත්සාහය නොගැනීම ගැන ඉතා දුකය. හේතුව මගේ නොසැලකිළිමත්කම නිසා අම්මාට වූ ලැජ්ජාව මිස වෙන කිසිත් නොවේ. අනෙක එදා මට ඉගෙන ගෙන තැනකට ඒමේ හැගීමක් තිබ්බේ නැත. මට නමට ඉදිරියෙන් ආචාර්ය කියා තිබුනාට, ඒක උප්පත්තියෙන් ලැබුනු දායාදයක් නිසා තව එකක් දා ගනිමි කියා ආසාවක් තිබුනාට, ඒකට අධ්‍යාපනික පසුබිමක් ඕනෑ බව මට තේරුනේ නැත. මා ගමේදී බලාගෙන සිටියේ සිල්ලර කඩයක අයිතිකාරයෙක් වෙන්නටය. දෙල්කදදී බලන් හිටියේ හයිලෙවල් පාර අයිනේ නවත්වන ලද ලොකු කාර් එකක ළමයින් නැති මහත්තයා හා කරුණාවන්ත නෝනා කෙනෙකු මා හදාගන්නට අම්මාගෙන් ඉල්ලාගන්න තුරුය. එහෙත් ඒ එකක්වත් නොවීය.

අම්මා ලෙහෙසියෙන් පසුබසින්නෙ නැති කෙනෙකි. අම්මා නුගේගොඩ පිරිමි ඉස්කෝලෙට අයදුම්පත් යැව්වාය. අද අම්මා දිහා බලන් ඉන්නා විට මට , මගේ අම්මා මේ තරම් දේවල් කලා නේදැයි සිතෙන්නේ දුක මිශ්‍ර ආඩම්බරයෙනි. එදා දහසක් වැඩ මධ්‍යයේ මා ලගපාත ඉස්කෝලෙකට නොදා අම්මා නුගේගොඩ ඉස්කෝලෙටම මා ඇතුල් කරන්නට ගත් උත්සාහය ඈ නුගේගොඩ අනුලාවේ ඉගෙනගත් එක ගැන ඇයට තිබූ අභිමානය වන්නට ඇත. ඈ හැමදාම ඒ ගැන සතුටු සිතින් කීවාය. අක්කාව ශිෂ්‍යත්වයෙන් අනුලාවට ගිය එක ඇගේ සතුට තවත් වැඩිකල බව මම දනිමි. අන්තිමේ අයදුම්පත් ලැබී මටද ඇතුලත් කරගැනීමේ විභාගය සදහා ලියුමක් ලැබිණි. අම්මා මේ ලියුම මට දී ' අතපයක් කඩා ගන්නේ නැතුව එදාට ලැහැස්ති වෙන්නයි' කීවාය. මම පුදුම වීමී. මට ඈ පාඩම් කරන්නවත්, අක්කාගෙන් අහගන්නටවත් කීවේ නැත. මම ඒ දවස් කිහිපය පොත්පත් දෙක තුනක් පෙරළා පාඩම් කලෙමි.

විභාගයට අම්මා මා කැටුව නුගේගොඩ ගියාය. අපි අටේ කනුවෙන් බස් එකට නැග ටිකට් එකහාමාරක් ගෙන බෝගහ ලගින් බැසගත්තෙමු. ඉස්කෝලෙට ඇතුල්වන්නට ගේට්ටුව ලග හිටගත් මගේ ඇස් හතරවටේ දුවන්නට විය. මගෙ ජීවිතයේ දැක ඇති ලොකුම ඉස්කෝලය මේකය. ඇතුල්වන්නට තිබුණු ගොඩනැගිල්ලේ ආරුක්කුව මගේ හිස උඩින් කොහොම රදවා ඇත්දැයි මම කල්පනා කලෙමි. ඊටත් එහා මහා විසාල පිට්ටනියකි. එහෙම ලොකු පිට්ටනියක් මා දැක තිබ්බේ නැත. පායන කාලෙට කට්ටෙට වේලෙන  ගමේ වෙල් යායේ දුව පැන ඇති මට මේ ගොඩනැගිළි වටකරගෙන හරි මැද පිහිටා තිබූ පිට්ටනිය මහා අමුතු එකක් වූයේය. අනෙක පන්තිකාමර වල පිරී ඇති කිරි සුදු කමිස හැදි කොල්ලන්ගේ මහා ගෝසාවද මට අමුතුය. අප එහි ඇතුල්වූ සැනින්ඉතා ලස්සන ඝාංටාරයක් වැයුණි. ජයසින්හේ උදලු තලේ ටාං ..ටාං ගෑවාට, මෙහි මහා  ගාම්භීර හඩ මගේ ඇස් නොව කන් පවා තවත් ලොකු කලේය.ඊටත් වඩා ඒ සැනින් අර ගෝසාව නැත්තටම නැතිවී ගියේය. මීක් කියා සද්දයක් නැති පන්ති කාමර අස්සෙන් ගොස් අපි විභාග ශාලාවට ආවෙමු. ඒ එන අතරේ 'අම්මේ මේ ඉස්කෝලෙට මට එන්නම ඕනෑ ' යයි තටම තටම කීවෙමි. අම්මා සිනා සී 'බලමු' කීවාය. මා විභාගෙට වාඩි කරවා රුපියල් දෙකක් අතට දී  ඔයාට තනියම  එන්නට පුලුවන් නේදැයි'  ඇසුවාය. මම හැගීමක් නැතිවම හා කීමී. ඒ තරමට මගේ ඔලුව ඉස්කෝලේ බිල්ඩිං වටේ බැදී තිබුනේය. විභාගය ලියන ගමනුත් මා කල්පනා කලේ ඒ ගැනය. මේ තරං ලොකු එක බිල්ඩිමක් ජයසින්හේ තිබ්බානං අපිට ගස් යට පන්ති තියන්නේ නැතිව කාමර වල ඉගෙනගන්නට තිබ්බා නේදැයි- ද, තට්ටු පඩිපෙලවල් වලින් ලමයින් වැටෙන්නේ නැතුව නගින්නේ කොහොමදැයි- ද, 'කැන්ටිම' කියා තිබුණු තැන පාන් කාලවල්, මාලු පාන්, බනිස්, ගල් බනිස් තොග පිටින් ගොඩ ගසා තිබෙන්නේ ඇයිදැයි- ද,  මම කල්පනා කලත් විසදුමක් ලැබුනේ නැත.

අන්තිමේ විභාගය ලියා ඉවර වන විටම වාගේ අර ඝාංටාරේ වැදුණේය. අර කළින් කී ඝෝසාව තවත් වැඩි වී සාගරයක් වාගේ කොල්ලන් කූඹි ගුල් වලින් පිටවන්නා සේ අමුතුම කළබලයකින් දුවන්නට පටන් ගත්තේය. පුදුමය උන් බාගයක්ම දිව්වේ අර කැන්ටිම කී තැනටය. මට යන්තම් හිතට පොඩි සහනයක් ලැබිණි. මේ ඉස්කෝලේ ඉන්නා බාගයක් එවුන්ට මට වාගේම මජරි බඩගින්නක් ඇත. මම සතුටෙන් ගෙදර එන්නට පිටත් වුනෙමි. ඉස්කෝලය ලගම හෝල්ට් එකෙන් බස් එකට නැග ඩ්‍රයිවර් ආසනය ලගට වී බෙල්ල දික්කොට ගෙන ඉරිදාපොල හෝල්ට් එක කොතැනදැයි බල බලා ආවෙමි. කොන්දොස්තර පැමිණ 'ටිකට්' කී විට 'ගත්තා' කීමී. දැන් මතක් වෙන විටත් බය ලැජ්ජාව ඇතිවෙයි. එහෙත් එදා රුපියල් දෙක ඊට වඩා වටින්නේය. අන්තිමේ ගෙදර ගොස් අම්මාට විස්තරය කියා හනික ඉරිදාපොළේ සෙල්ලමට එක්වීමී. එහිදී මට නිමල් හමුවිය. අර රුපියල් දෙකෙන් ඇඩ්ඩිං කඩෙන් මොනවා හෝ ගත්තා මතකය. ඒ කන ගමන් මට නිමල්ට කියන්න තිබුනේ එක විස්තරයකි..
 ' එහෙ කෙල්ලො නෑනේ බං..'
නිමල් අර අලි බඩ අතගගා 'අය්යෝ බං' කී හැටි මට තාම මතකය.

ප.ලි
මෑත දවසක උත්සවයක් සදහා මම වාහනය පදවාගෙන ඉස්කෝලේ ඇතුලටම ගියෙමි. අපට රථ නවත්තන්නට පිට්ටනිය සූදානම් කොට තිබුනේය. එහෙත් ඒ කුඩා පිට්ටනියේ වාහන හසුරවන්නට අමාරුය. එය ඒ තරම් කුඩාය. මට මෙහි ආ පලමු දවස සිහිවිය. අප ලොකු වෙත්ම කුඩා කල, අපට තිබූ ලොකුම ලොකු ලෝකය කුඩා වන්නේ ඇයි...!
මම පිළිතුරු සොයන්නට නොවෙහෙසෙමි.

Sunday, November 27, 2016

පොකුටු හිසට වැටුනු කළු ගල...


අසූ තුනේ ජුලි මාසයේ දවසක ජයසින්හයේ අපව, බිස්කට් බෙදන්නටත් පෙර උදළු සීනුව හඩවා රැස්වීමක් කැදවා ගෙදර යවන ලදි. මා මේ විදුහල්පතිතුමා මතක් කරගැනීමට ලොකු වෙහෙසක් දැරුවද මට තවම ඔහු මතකයට එන්නේ නැත. එහෙත් එකක් මතකය. ඔහු සතිස්චන්ද්‍ර එදිරිසින්හ රඟපෑ 'අධිෂ්ඨානය' චිත්‍රපටයේ හෝ වෙනත් චිත්‍රපටයක ගමේ කඩේ මුදලාලිගේ චරිතය රගපෑ බවය.   ඒ විදුහල්පතිතුමා පහේ පන්තිය තෙක් තිබූ අපේ ඉස්කෝලේ ලොකු වැඩක් කරන්නට හදන විටම ජුලි මාසේ ඔය කී දවස ආ අතර, ඒ රැස්වීමේදී 'මේ ඉස්කෝලේ දෙමල ලමයින් නැති වුනත්, දෙමල ගුරුවරු නැතිවුනත් ඒ සියල්ලන් අපේ සහෝදරයන් සහෝදරියන්, ගුරුවරුන්, දෙමාපියන් බවට අමතක නොකල යුතු බවත් නැවැත පාසල් පටන් ගන්නා දවසට ඒ මිනිසුන් උදෙසා ඔබ විසින් කල සුළු උපකාරයක් පිළිබදව හෝ දැනගන්නට තමන් ආසා බවත් කියා සිටියේය. එදා ඇත්තෙන්ම අපට මේ 'සුළු උපකාරය' පිළිබද හැගීමක් තිබුණේ නැත. අපට ඕනෑ වී තිබුණේ හනික දුවන්නටය. කළබල ඇතිවන්නට පුළුවන් බව කළින්ම අප වැඩිහිටියන්ගේ කතා වලින් දැන සිටියෙමු. මේ වනවිට අක්කා ශිෂ්‍යත්වය සමත්ව නුගේගොඩ බාලිකාවකට යමින් සිටියාය. මම කොල්ලන්ගෙන් මිදී ජයසිනහයේ සිට අතුරු පාර දිගේ වනාත පාරෙන් හයිලෙවල් පාරට දිව්වෙමි.

වනාත පාර වෙනදා වගේම නිසොල්මන්ය. වර්නන් තිලකරත්න මහත්තයාගේ ගෙදර පමණක් වාහන දෙක තුනක් නවතා ඇත්තේය.එතැනින් එහාට හයිලෙවල් පාර එකම කලබලයකි. එකල අද තරම් වාහන තිබුනේ නැත. ලොකු සීටීබී බස් වේගයෙන් එහා මෙහා දිව්වේය.ඒ අතරේ හමුදා වාහන වෙනදාට වඩා පාරේ ගමන් කලේය. ගෙදරින් ලැබුණු අවවාදය වුනේ 'එහේ මෙහේ රස්තියාදුවේ නොගොස් ගෙදර ඉන්නා' ලෙසය. සාමාන්‍ය ලෙස අවවාදය පැත්තක දමා මම හන්දිය පැත්තට දිව්වෙමි. හන්දිය පැත්තට ඇදෙන සෙනග මගේ කුතුහලය අවුස්සන්නේය. සමහරු රංචු ගැසී දත්මිටි කමින් පොලු මුගුරු ඇතිවය. සමහරුන් කෙළිදෙලෙන් හිනාවෙමිනි. මේ අරුම දසුන් මැද්දේ මමද තනිව දෙල්කද පැත්තට ඇදෙන්නට විමි. දෙල්කද රත්තනපිටිය ගම්සබා හන්දිය පැගිරිවත්ත මට ආගන්තුක නැත. මේ පරිසරයේ මා ඕනෑතරම් ඇවිද තිබේ. පටු මාවත් දිගේ තනිව කරක් ගසා තිබේ . එහෙත් අද අමුතුම පරිසරයකි. පාර දිගටම ගෙවල් වල ගෑනු මිනිසුන් රජයේ නිවාඩුවක් ලැබුණා මෙන් පාරවල් අයිනේ හිටගෙනද, ඉස්තෝප්පුවල පුටු තබාගෙනද, වැටවල් අයිනේද කතා බහේය. ඊයේ බොරැල්ල කනත්තේ ඇතිවූ සිද්ධිය ඉන්පස්සේ දෙමටගොඩ මරදාන පැත්තේ ඇතිවූ සිදුවීම් දෙමළ කඩසාප්පු කඩාබිද ගිනි තැබූ හැටි මේ කතාවල ප්‍රධාන මාතෘකාවය. ඒ අස්සේ වෙනදා කවමදාවත් අප දැක නැති පිරිමි කණ්ඩායම් හැදී පොලු මුගුරු රැගෙන දෙල්කද හන්දියේ සිට ඉදිරියට එන්නේය. මේ සරම් කාරයන් කුමක් හෝ සොයන්නේ මෙන් කේන්තියෙන්ද..කුතුහලයෙන්ද ..වාහන නවතා කෑ මොර දෙති.  එකවරම මේ මුළු සෙනගම කෑ ගසාගෙන දෙල්කද උඩහමුල්ල පාරට දිව්වේය. එය මහා කෑ ගැහිල්ලකි. කවුරුන් මොනවා කියන්නේද යන්න මට පැහැදිළි නැත. මම ඒ සෙනග දකින්නට දිවිමි.

 දෙල්කද පොඩි පාලමත් උඩහමුල්ල පාරත් අතරමග එකම හිස් පොදියකි. ඒ අස්සෙන් රින්ගීම මට ඉතා පහසුය. සෙනග අස්සෙන් මිරිකි මිරිකී මම සිදුවීමේ මුලටම ගියෙමි. කලුම කළු කොණ්ඩය බොකුටු මිනිහෙක් තාර පාර මැද අමු නිරුවස්තරව අත්දොහොත් මුදුන් තියා කාටදෝ වදින්නේය. 'කතා කරපිය බල්ලා..පන්සල කියපිය' පරාලයක් බදු ලී මුගුරක් රැගෙන සරමක් හැදි උඩ කය නිරුවත් මිනිහෙක් අර සමාව ඉල්ලා බයාදුවෙන් හඬන මිනිහාගේ කොදු නාරටිය මැද්දට පයින් ගහන්නේය. ඒ අසරණයාගේ කදුළු බේරෙන්නේ නැත. අවුරුදු හතලිහක් පනහක්වත් ඇති මේ මිනිහා දෙමළෙකු බව අදුනාගන්නට මේ මැරයා බොහෝ උත්සාහ ගන්නේය. මේ අහින්සකයා දෙමළෙකු නොව සින්හලයෙකු වුව මේ මැරයාගේ පා පහරවල් නිසා දැනටමත් බාගෙට මැරී හමාරය. එහෙත් එකවරම මගේ හද අදද කකියවන මහා පොලු පහරක් මේ මිනිහාගේ ඔලුව මුදුනටම වැදුණේය. මේ මිනිහා සිංහලෙන් 'අම්මේ..' කීය. ඒ ගමන්ම තවත් කෙනෙකු දෙසට හැරී           ' මහත්තයා මා මතක නැද්දැයි'  ඇසුවේ කාගෙන්දැයි මා දැක්කේ නැත. තමා කුඩා කාලේ සිටම මෙහි ජීවත් වුනා මතක නැද්දැයි මේ දෙමළාය කියන මිනිහා කිහිපදෙනෙකුගෙන්ම ඇසුවා මට මතකය. ඒ අසන අසන වාරයක් පාසා ඒ මින්හාගේ පොකුටු කොණ්ඩය මැදට අර මුගුර පාත්වූයේය. කළුම කළු මුහුණ තෙත් කරමින් රතුම රතු ලේ දහරා පනින්නට විය.  එහෙත් මේ මිනිහා කදුළු වගුරවමින් ඇඩුවා මිස, අම්මේ....  කියා කෑ ගැසුවා මිස කිසිත් කරන්නට ගියේ නැත. වටවී බලාසිටි ගැහැණියක ' දන් ඔය ඇති ඔය මිනිහා දෙමළ වුනත් අහින්සකයා..අපේ පොඩි පොඩි වැඩක් කරලා කුළියක් අරන් ජීවත් වෙච්ච එකා' කියද්දී අර මුගුර ඇති මිනිහා 'පල වේසී අපේ කොල්ලන් අරහේ මැරෙනවා ..තොගේ අනුකම්පාව' කියා එලවා දැමුයේය. මේ ගැහැණිය තරහකින් හෝ අමනාපයකින් තවත් මොනවාදෝ කියන්නට තැත් කරද්දී ඇගේ සැමියා විය හැකි කෙනෙකු ඇය බලෙන් මෙන් ඇදගෙන යද්දී. 'මේවා සහගහන අපරාද..තොපිලට බලන් ඉන්නට ලැජ්ජ නැද්ද යකෝ ..' කියා බැන වැදුනේ මහා හය්යෙනි. ඇගේ බැනුම උදේ හවා පන්සිල් ගන්නා කිහිපදෙනෙක්ගේ මුහුණු අදුරු කල නමුත් තව බොහෝ අය මේ  දෙමලාගේ ජීවත්වීමට අයදින කරුම ආයාචනය 'බලන්නට ' පොදි කෑහ. අන්තිමේ සිහිසුන්ව තාර පාරේ ඇද වැටුනු මේ අහින්සකයා ලගටම ආ ප්‍රේක්ෂකයෝ 'ඉවරයි වගේ..' කීහ. එකෙක් දෙන්නෙක් 'පවු අනේ ' කීහ. එහෙත් මුගුර අත ඇති මැරයා පිළිගන්නට කැමැති වූයේ නැත. මගේ ජීවිතයේ අදත් ඉදහිට මැවෙන අදුරු සිදුවීම එදා මගේ ඇස් පනාපිටම සිදුවින. මැරයා මුගුර අතහැර ලොකු කළු ගලක් උස්සාගෙන විත් මේ සිහිසුන් අහින්සකයාගේ ඔලුවට උඩින් අතහැරියේය. මේ අහින්සකයා කිසිත් නොකියා තම ඉරණම බාරගත්තේය. මම එතැනින් දිව්වෙමි. එකෙකු 'දැන් ඉවරයි' කියනු මට හීනීයට ඇසුණා මතකය.

මම කෙළින්ම දිව්වේ වනාත පාරටය. කවදාවත් කතා නොකල, කවදාවත් මා නොදන්නා, එහෙත් අඹ පේර ගස්වලට අපට නගින්නට ඉඩදී, බල්ලන් කූඩු කල දෙමළාට අත්ව ඇති ඉරණම කුමක් වීදැයි හොයන්නට මම වර්නන් තිලකරත්න මහත්තයාගේ ගෙදර දෙසට දිව්වෙමි. ඒ ගෙදර ලොකු කළබලයකි. වාහන හතර පහක් නවතා ඇත්තේය. ගේට්ටුව මුරට හමුදාවේ දෙදෙනෙකු තුවක්කු මානාගෙනය. ගේට්ටුව මෙපිට අප දන්නා හදුනන අයය.  'එකෙක් හරි ආවොත් වෙඩි තියන්න ඕර්ඩර්ස් දීලා තියෙන්නෙ. ඈතට වෙලා ඉන්න' හමුදා සෙබළා කීවේ අප හැමෝටම ඇහෙන්න‍ය. 'මෙහෙට දෙමළ පවුලක් එක්ක ඇවිත් එගොල්ලන්ගේ ආරක්ෂාවට තමයි මේ ආමි එකෙන් ඇවිත් ඉන්නේ. කොල්ලො දුවපන් ගෙදර..නැත්තං උඹටත් වෙඩි තියයි' කීවේ අපේ අසල්වැසියෙකි. ඒ දුවන අතරේ  මට අර මුගුර අත ගත් මැරයා මේ දොරකඩම  එක්කාගෙන එන්නට සිතිවිල්ලක් පහල විනි. , මගේ අවාසනාවට මට ජීවිතයේ කවදා හෝ සතුටු විය හැකි සිතිවිල්ල ක්‍රියාත්මක උනේ නැත.

Saturday, November 26, 2016

ෆිදෙලුත් ගිහිං....


 සමහර මිනිස්සු මේ ලෝකෙට බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන්න. සමහර අය බිහිවෙන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කරන මිනිස්සුන්ව බිහිකරන්න. ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගේ සෙවණැල්ල පිටිපස්සේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පත්වෙන්න.                                   http://uduwaage.blogspot.com
තරිදුගෙ මේ සටහන කියෙව්වෙ ඊයෙ. අද ෆිදෙල් ගිහින් කිව්වම තව අය එක්ක මේක ලියවුනා.



  අපට දැන් 'චරිත' වල අඩුවක් තිබේ. හොදට හෝ නරකට දෙකටම මග පෙන්වන දැවැන්ත චරිත ඇත්තේම නැත. එක්කෝ මොකක් හෝ යාන්ත්‍රණයක් විසින් චරිත මතුවීම වළක්වා තිබේ. (මේ මා කියන්නේ 'මායා' හී ප්‍රධාන චරිතය වැනි අය ගැන නොවේ.)

ඒ අස්සේ ෆිදෙල්ද ගිහින් තිබේ...



                               ෆිදෙල් මත මුණ ගැසුණේ හීත්‍රෝවට යාබද හවුන්ස්ලො හී 'හදවත් පදනමේ' පොත් රාක්කයක් ලගදීය. මේ හදවත් පදනමේ එක් ස්වෙච්ඡා අංශයක් ලෙස පවත්වාගෙන යන, පාවිච්චි කරන ලද දහසක් දේ අඩු මිලට විකුණා ආදායම් උපදවාගන්නා සාප්පුවේ, පවුමට දෙකට පොත් විකිණෙන රාක්කය අසල මට ඉඩ ඇති හැම වෙලාවේම රැදෙන්නෙමි. එහිදී මට බොහෝ අය හමුවී තිබේ. එහෙම හමුවී ගෙදර ගෙන ආ තවත් හුග දෙනෙක් මගේ පොත් රාක්කයේ නිසොල්මනේ ඉදිද්දී මම ෆිදෙල් හා මිතුරු වූයෙමි. මීට කලින් ඒ සාප්පුවෙන්ම ගෙනා ජුන් චැන්ග් ගේ 'මාවෝ' කියවීමෙන් 'වීරයෝ'  වීරයෝම නොව අරමුණක් ජයගත් මිනිසුන් පමණක්ම බවත් ඊට යටින් ලෝකය නොදන්නා බොහෝ දේ ඇති බවත් මට මාවෝ කියාදුන්නේය. එදා සිට මට වීරයෝ පිළිබද කුතුහලයක් මිස ආශ්චර්යයක් ගෙනාවේ නැත.
                              කෙසේ හෝ ෆිදෙල් පිළිබද මේ පොත ලියා තිබුණේ  අමරිකානුවෙකි. ඒ නිසා තව කියවන්නට වෙන තරමේ උනන්දුවක් ඇති කරලීය. ඒ උනන්දුව නිසා ෆිදෙල් පිළිබද අන්තර්ජලය හැරුණුකොට ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද ලියැවී ඇති පොත් කිහිපයක් සොයා කියවන්නට විමි. අන්තිමේ මගේ අතින් සති තිස්දෙකක් පුරා පිටු භාගයක ලියවිල්ලක් ලියැවිණි.
                                  ඒ අතරේ මට හිඋබර් මතොස් හමුවුණේ අහම්බෙනි. මතොස් සිය අනාගතය විප්ලවය වෙනුවෙන් කැප කලේය. විප්ලවය ජයගෙන සන්තියාගෝවට එන පෙළහරේ ෆිදෙල් ළගම සිටියේ මතොස්ය. අන්තිමේ මතොස් ජීවිතයේ වැඩිකලක් 'ප්‍රතිවිප්ලවාදියෙකු' ලෙස හංවඩු ගැසී හිරගෙයි දසවද වින්දේය.
මතොස් එවන් ඉරණමකට ලක්වෙන්නට සුදුසු දැයි මම දස අතේ කල්පනා කළෙමි.
                              මතොස්ගේ ජීවින කියවුම මගේ සිත සසල කළේය. එහෙත් මම ෆිදෙල් ලියා ඉවර කළෙමි. බොහෝ දේ මගේ කටු සටහන් මැද ඉතිරිකොට මගේ පොත් රාක්කයේ වීරයන් අතර සැගවූයෙමි.

ෆිදෙල් මට බොහෝ දුරක් එනතුරු වීරයෙකි. නොපසුබසින නොපරදින බවේ සංකේතයකි.  ඉන්පස්සේ අතරමග අතහරින්නට සිදුවන සාමාන්‍ය මනුස්සයෙකි.

Thursday, November 24, 2016

මනුස්සකම සහ ආනන්දසිරිය 02 (දොර පලුව )

එදා රෑ මහා වැස්සක් වැස්සාද, ග්‍රීස්මේ හැදි ඉහ මුණින් දහදිය දමන්නට පෑයුවාදැයි, මා නොදනිමි. ඉරිදාපොළ ඉස්සරහාම ගෙදරත්, ඊට ගෙවල් හතරකට මෙහායින් අඹ ගහ තිබූ වලේ ගෙදරත් අය, කෑවා බිව්වාදැයි මා නොදනිමි. මේ ගෙවල් දෙක ඇරෙන්නට ඉන් අවට ගෙවල් හත අටක මෙපමණ පාන්දරින් වුව එක ලාම්පුවක්වත් පත්තු නොවන්නේ, එක බල්බයකවත් එළියක් නැත්තේ ඇයිදැයි මා නොදනිමි. වෙනදාට ඇහෙන කනට හුරු කුණුහරුපයක්වත් පමණක්ම නොව, කලාමැදිරියෙකුගේ කරච්චලයක්වත් ඇහෙන්නේ නැත්තේ ඇයිදැයි මා නොදනිමි.සමහරදාට ඩග්ලස් අය්යා උදේ පාන්දර නොවරදවා කාක්කන්ට කන්නට පරණ පාන් බාග විසිකරන්නේ මේ වෙලාවටය. ලී මඩුවේ යකඩ මැෂින් උඩ හදුන්කූරු පත්තු වී සිගරට් දුමක් මෙන් අපේ ජනෙල අස්සෙන් විත් හමා යන්නේද මේ වෙලාවටය. මේ මොකවත්ම නැතත් පාන්දර වැඩට යන කෙනෙක් සිය කර්තව්‍ය නිමවා වතුර බාල්දියක් හිස් කල සැනින් උඩ නගින, පිරී උතුරන කක්කුස්සි වලේ ගද නහැ පුඩු විනිවිද යන්නේද මේ වෙලාවටමය. ඒ මොකක්වත් අද නැත.

අපේ ගේ මූසලය. අම්මා, තාත්තා, ආච්චී තුන්දෙනාම ගෙයි නැත. දෙවැනි අය්යා තුන්වැනි අය්යා මේසය යට කුසු කුසුවකි. අක්කාද ඇහැරලාය ..කවදාවත්ම නැතුව මාද කූද්දා තිබේ. මම ඈණුමක් ඇරියේ මා මෙහි ඉන්නවා කීමට නොවේ. එහෙත් පටස් ගා කනට පාරක් වැදුනේය. 'කෑ නොගහ ඉන්නවා..ආනන්ද අය්යා අරං ගිහින්..' මම මේ වචන ස්වල්පය තේරුම් ගන්නට උත්සාහ කලෙමි. මීට සතියකට පමණ පෙර ආනන්ද අය්යා තවත් කෙනෙකු සමග ඇවිත් ලොකු කඩදාසි පාර්සලයක් ඉටිකවර වල බහා වල දැම්මේ අපේ ගෙයි පිළිකන්නේය. එවෙලාවේත් ඔහු සිටියේ අර වෙනදා මෙන් ප්‍රසන්න මුහුණෙනි. ඔහුට පඩි ලැබෙන්නට තිබුනේද අද හෙටය. එහෙත් වෙනදා මෙන් ආප්ප කෑමට ලොකු වෙලාවක් වෙන්කිරීමට ආනන්ද අය්යාට ඉඩක් තිබ්බේ නැත. මීට දවස් දෙක තුනකට පෙර උස මහත කිළුටු ඇදුම් ඇදි එහෙත් ලොකු අක්කා විසින් 'මූ නම් හිගන්නෙකු නොවන බව' කිළිටු බිදක් නැති කකුල් දෙකෙන් අදුරාගත් කෙනෙකු අපේ ගෙදර හිගාකන්නට ආවේත් ඇස් දෙකක් නැති එකෙකු ලෙසය. අපේ තත්වය ඒ මිනිහාටත් වඩා අවුලක තිබ්බා ඒ මිනිහා දකින්නට නැත. එක්කෝ ඒ මිනිහා ආවේ හිගන්නටම නොවෙන්නට ඇත. ඊටත් කලින් දවසක කනේ මලක් ගසා ගත් කොට මිනිහෙකු මේ ලෝකෙ නැති නමක් අසාගෙන ඇවිත් ගේ දිහාම බලන් හිටියෙත් අමුතු විදියටය.මේ සියල්ල හා ආනන්ද අය්යා අතර සම්බන්ධය කුමක්ද..? මට තේරුම් ගත නොහැක.

අන්තිමේ වෙනදාට වෙලාවක් කලාවක් නැතිව පාරේ ඇවිදින මට ආනන්ද අය්යලාගේ ගෙදර යාමට හැකිවුනේ ඉරෑළිය වැටී බොහෝ වෙලාවක් ගිය පසුවය. වෙනදාට අක්කා මගේ කරදරයෙන් බේරෙන්නට ම එලවා දැමුවත් අද මගේ අතින් අල්ලාගෙන නිසා මට පැනයන්නටත් බැරිවිය. ම එහි යනවිට ආනන්ද අය්යලාගේ වෙනදා වැහී තිබෙන යකඩ ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇර තිබ්බේය. ගෙයි දොරපලුද ඇර තිබ්බේය. නැන්දා වටකරගෙන අපේ ගෙදර අයත්, වටපිටාවේ අයත් සනසවති. ඈ සනසන්නට තරම් ලොකු කරදරයක් වී ඇත්ද..වෙනදාට කෙනෙකු මල පසුවත් 'බුදුන් වදාල දේ නේ ලමයෝ...' කියා සැනසෙන නැන්දාව අද වටවී සනසන්නට වී ඇත්තේ ඇයි.. මගේ කුතුහලය නිව්වේ අපේ අක්කාය. 'ඊයේ රෑ දොරට තට්ටු කරල ..ආනන්දසිරි ඉන්නවද අහල ජීප් එකෙන් අරන් ගිහින්..නැන්දයි අය්යයි මිරිහානේ ගිහින් දන් ආවේ..ගෙනාවේ නෑ කියනවලු.. අරන් යන්න ආපු කට්ටියගෙන් කෙනෙක් නැන්දා දැකලා පුරුදු කෙනෙක්ලු..දැන් දන්න හැම තැනටම කිය කියා හොයනවා..'

 (ඉන් එහා කතාව කියන්නට මට උවමනා නැත. ඉන් එහා වූ බොහෝ දේ දශක කිහිපයක් තිස්සේ කියවා අප විද ඇත්තෙමු. එකම දේ අද වනතුරු ආනන්ද අය්යා නැවැත ආ නැති එකය.)

මගේ ජීවිතයේ බොහෝ තැන්හි දරුවන් අතුරුදහන් වූ දරුවන් මැරුනා කියා නොදන්නා දරුවන් අද එතැයි හෙට එතැයි කියා මග බලන අම්මලා හමුවී තිබේ. එහෙත් ඒ මේ සිද්ධියෙන් පසුවය. මේ සිද්ධිය මගේ හිත බොහෝ කලබල කරනා ලද්දේය. ඒ නැන්දාගේ තනි නොතනියට දහවල් වරුවේ මා නවත්වා යන ලදින් මා හා ඒ නැන්දා ඒ ගෙදර සාලයේ තනිවී ඇත්තෙමු. නැන්දාටම උරුම වූ හාන්සි පුටුවේ සිට බාගෙට අරින ලද දොරෙන් දැන් එතැයි දැන් එතැයි කියා, එක ක්ෂණයකින් මග හැරෙන්නට වෙතැයි බයට, ඇස්පිල්ලන් නොගහා බලන නැන්දාගේ ඇස් කෙවනි මත්තෙන් නැගෙන කදුලු නවතන්නට මට කිසිදා නොහැකි විය.  ඒවා කිසිදා සිදී නොගියේය. මට ඒ නැන්දා අදත් මතකයට නැගේ ..අදත් ඇගේ ඇස් අර දොර පලුව මෑත්වන මොහතක් මොහොතක් පාසා විසාල වී ආනන්ද අය්යා මතුවේ යැයි බලාපොරොත්තුවෙන් එකවර දීප්තිමත් වී, නැවැත හැකිලී යන හැටි මට මැවී පෙනේ.

ආනන්ද අය්යා එක්කාගෙන යන්නට ආවේ මහ පාන්දරක 'දන්නා කියන' කෙනෙකි. දෙල්කද හන්දියේ ලොකු බිල්ඩිමක අපිත් දන්නා අක්කා කෙනෙකු හා විවාවී සිටි කෙනෙකු වූ මේ අමුනුස්සයා ඊට පසු කලෙක රත්තනපිටියේදී මහමග මරා දැමුයේ පෞද්ගලික වෛරයකට බව මතකය. ඔහු කෙරූ අපරාදය 'රාජකාරිය' ලෙස හදුන්වා දුන් බව මම දනිමි. එහෙත් ආනන්ද අය්යා වැනි කෙනෙකු පමණක් නොව තව සිය දහස් ගනනක් රාජකාරිය නිසා අතුරුදහන් කිරීමට හිත දීම  ඔවුන්ගේ හිත් ඇතුලේ සිය දහස් වාරයක් පෑරි පෑරී තුවාල වී ඕජස් ගලන්නට ඕනෑය. අඩුම ගනනේ අපේ නැන්දා මෙන් බාගෙට ඇරුණු දොර පලුවක් සමග මුලු ජීවිතයම පීඩා විදින්නට නොසලස්වා ' අම්මේ නුඹේ පුතා අපේ අතින් මැරුණා..'කියන්නට තිබිනි. අඩුම තරමේ ' මේ දැන් උඹේ පුතා හන්දියේ මැද දැවෙන්නේ යැයි ..'කියන්නට තිබිනි. ඒ වෙනුවට ඔවුන් කලේ ආනන්ද අය්යා අල්ලාගෙන ගොස් මැරෙනතුරු පොලුවලින් පහරදී දසවධ බන්ධනයට යටත් කොට මරා දමා කොහේ හෝ පුච්චා දැමීමය. අපේ නැන්දාගේ ගේ ඉදිරිපිට ඕනෑ තරම් ඉඩ තිබිණි. ආනන්ද අය්යාගේ නිසල සිරුර එහි ගෙනවිත් දමන්නට තරම්වත් සිහියක් තිබුනානම්..ඒ අම්මාගේ ඇස් මැරෙනතුරු අර දොර පලුව දෙස බලා ඉන්නේ නැත.

මට කියන්නට අමතක වූ දෙයක් තිබේ. ඒ ආනන්ද අය්යා ගැන ඉන් සතියකට පසු ආරංචියක් ලැබීමය.

 ඒ දිනපතා ඉන්ග්‍රීසි පුවත්පතක කෙටි ප්‍රවෘත්තියකිනි. '......නම් සදහන් කල පස් දෙනෙකු මිරිහාන පොලිස් අත්ඩංගුවෙන් පැනගොස් ඇති අතර ඒ අය සොයා මෙහෙයුම් දියත් කර ඇති බවට නිලධාරියා කියයි' යන කුඩා ප්‍රවෘත්තියේ ආනන්ද අය්යාගේ නමද තිබිනි. නැන්දලා මේ තොරතුර පස්සේ පුවත්පත් කාර්යාලයටද එය ලියුවා යැයි කියන පොලිස් වාර්තාකරුගේ ගෙදර ගියද හරි හැටි තොරතුරක් ලැබුනේ නැත. ලැබුනු එකම උත්තරය වූයේ ' දැන් ඉතින් අමතක කරලා දාන්න..' යනු පමනකි.
අම්මා කෙනෙකුට දරුවෙකු අමතක කරන්නට පුලුවන්ද...ඒ අම්මා මැරෙනතුරු දුක්වින්දාය. මැරෙනතුරු ආනන්ද අය්යා යලි එතැයි සිතා ඒ එන මග ඉක්මන් වන්නට පිංකම් කලාය. අදද දෙල්කද   මහා හතරමං හන්දියේ අතරමං වී ඇති, ඒ අම්මා ආනන්ද අය්යාට ඉක්මනින් ගෙදර එන්නට පිං තකා තැනූ චෛත්‍ය රාජයාද  ඔහේ බලා හිදී. ඒ තරම් වූ බලාපොරොත්තුවක් ඇයට ඈ මිය යන තුරුම තිබින.
එක්තරා දවසක නාදුනන කෙනෙකු විත්, 'අම්මේ ඒ මනුස්සයා අපව පාවා නොදී අප දන්නවා යැයි නොකියා..මැරෙන තුරු ගුටිකා, අන්තිමේ යකඩ කූරක් කන පසාරු කරගෙන යන තෙක් නිහඩව සිට අප බේරා අප ඉදිරිපිටම නිසොල්මන් වී යැයි' කියද්දිත් ඈ නිහඩව ආනන්ද අය්යා එනමග පහසු කරවන්නට පින්කම් කලාය.
මගේ 'නිවන් ලිස්ට් එක' ඉතා කෙටිය එහි නිවන් නොලැබෙන කොටසේ ආනන්ද අය්යා ඉන්නේය.

ප.ලි
ආනන්ද අය්යාට සමගාමීව මගේ දෙවැනි අය්යාද, තුන්වැනි අය්යාද ''දැකීම'' සදහා මම අම්මා සමග අගලවත්තේ සිට පයින්ම පැලවත්ත තෙක්ද..රාගම හන්දියේ සිට වැලිසර තෙක්ද ගොස් ඇත්තෙමි. එහිදි අම්මා 'මෙවන් දරුවන්' සදාගැනීම පිළිබද නිල ඇදුම් ලා සිටි සත්ව කොට්ඨාසයකින් බැනුම් ඇහුවාද අද වාගේ මතකය. මේ නිසා අපේ ගෙදර බොහෝ වියවුල් විය. බොහෝ අය බැනුම් ඇහුවා මට මතකය. එහෙත් අද වෙනතෙක් ආනන්ද අය්යා ගැන මතක් කරන කෙනෙකු ඇසින් කදුලක් වැටෙන්නේය. ඒ තරම් ඔහු ආදරය ලැබීය. ඔහුගේ මනුස්සකමට එයම මදිද...
ප.ලි 2
ආනන්ද අය්යා අපේ අය්යලා ජීවිත ඇගිලි අතපය හා තරුණකම පූජා කල මෙහෙවර පිළිබද මගේ තරහක් නැත. එහෙත් එක දවසක මේ ව්‍යාපාරයේ ලොක්කෙකු හමුවී මා මේ සියල්ල කියූ පසු ' අපි තාම ඒ ගැන සොයා බැලුවේ නෑ..ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් ..මට කොල කැබැල්ලක ලියා දෙන්න ඉඩ තියන වෙලාවක බලමු..' යැයි කියූ පුද්ගලයා මට කොල කැබැල්ලක් තරම්වත් වටින්නේ නැත.

Tuesday, November 22, 2016

රචනාව



මේ ලග දවසක මගේ ගුරුවරයෙක් සිංහල පිළිබද දේශනයකට ඇවිත් 'පලු' යන්නට දුන්නා. හේතුව අපේ බාෂාව පිළිබද නොසැලකිලිමත්කම. ඉතින් ඒ වෙලාවේ අවුරුදු තිස් හතලිස් ගනන් වල අපට රචනාවක් ලියන ලෙස තර්ජනය කෙරුනා. දුන්නේ විනාඩි විස්සක්. වචන දෙසීයයක්.මාතෘකාව 'ලෝකයේ මා දුටු සුන්දරම ස්ථානය.
මේං මගේ රචනාව.





ලෝකයේ මා දුටු සුන්දරම ස්ථානය

මා ලෝකයේ බොහෝ තැන්හී ඇවිද ඇත්තෙමි. බොහෝ තැන්හී වශී වී, මෝහනය වී, එහෙත් මන්දස්මිතියෙන් බලා සිට ඇත්තෙමි. විටෙක එවා ලෝකයේ වඩාත් ජනාකීර්ණ, කොන්ක‍්‍රීට් වනාන්තරය..වරෙක ඒවා මිනිස් පූළුටක් පය ගසා නැති හරිත වන බිම්ය, වරෙක ස්වභාවික ලෙස පෙනෙන්නට තැනූ, කෘතිම උද්‍යානයන්ය, මහා ඩිජිටල් තිර මත මැවෙන සුරන්ගනා ලෝකයන්ය. වරෙක මහා කදු මුදුන්, වන පියස් හඹා යන ගුවන් සවාරිය. මේ හැම තැන්හීම මම මගේ නිසල කැමරාව රැගෙන යමි. එහි කාචය හඹා එන නිමැයුම් මගේ පරිගණකයේ රැස්කර තබා ගමි. ඒ නිමැයුම් අසිරිය දෙස බලා සැනසෙන්නට බැරිව ළතැවෙන්නෙමි. ඒ ළතැවීමට හේතුව ඒ එකදු දර්ශනයක්වත් මාගේ මනැස, ඇස පුරවන්නේ මුදු සිත සැනසීමට සමත් නොවන නිසාවෙනි.
එහෙත්,
මට තවම කිසිම අයුරකින් , කිසිම තාක්ෂණයකින් මගේ කැමරාවටත් මගේ කැමරාවෙන් පරිගණක තිරයටත් එකතු කරගන්නට බැරිවූ, කිසිදා එකතු කරගන්නට බැරිවෙන තැනක් තිබේ..


ඒ මගේ අම්මාගේ ඇකයයි..
මගේ අම්මාගේ ඇකයේ නිදාගෙන, ඇරෙන-වැහෙන නිදිමත දෙනෙත් අරිණා සැමවිටම, මට ඇගේ කෘශ වී ගිය, වේලී පරඩැල් වුණු දෙතන පෙනේ. ම එහි ඇබ්බැහියෙකු ලෙස එල්ලී කිරි උරා බොමි. මා නොදැන සිටියාට ඇගේ කුස හිස්ය, ඈ විඩාබරය, එහෙත් මා එහිම එල්ලී ඒ සුව විදිමි. ඒ දියැවී ගිය චීත්තයේ කොනක් අල්ලාගෙන, කුණු ලි දැළිකුණු රැුදුණු මිහිර විදිමි. මට නිදන්නට, මට සිහින දකින්නට, ඉඩදී ඇගේ අවුල් වූ රිදීවන් කෙස් කළඹ මා සනසා නිදැල්ලේ සුළගේ දුවන්නීය. ඇගේ වත හඹා ගලා එන වත්සුණු නොව, දහදිය පුසුඹ මා නැහැ පුඩු අස්සේ ගොස්, මණසැට කා වැදී, සුන්දර හෙටක් තනන්නට මග පාදා දෙයි.
මට අම්මාගේ උකුල ඇරෙන්නට ලොව වෙනත් තැනක් ඉදින් සුන්දර වන්නේ කෙසේද...?

ප.ළි.
******** මහතාණෙනි, මට මේ මාතෘකාවෙන් ලියන්නට වචන දෙසියයක් මදිය. එහෙත් ඔබේ ඉල්ලීම අහක දමන්නටද බැරිය. ඒ  නිසා මෙතැන නවතිමි.
තුති.

Saturday, November 19, 2016

මනුස්සකම සහ ආනන්දසිරිය..- 01


දෙල්කද ඉරිදාපොල ඉස්සරහින්ම කොට තාප්පේ පුංචි මිනිහෙක් වාඩිවී හිටියා මට මතකය. හීන් දිගැටි පැහැපත් මුහුණ වසාගෙන හිටි හැටියේකඩා වැටෙන අවුල් වුණු අකීකරු කෙස් කළඹ මේ පුංචි මිනිහාට නිරතුරු වද දුන්නේය. ඒ කෙස් රොදක් අතින් එහා මෙහා කොට කෙනෙක් වෙත මහා හිනාවක් පැවේද මේ මිනිහාමය. ගෙදර ඉන්නා බොහෝමයක් වෙලාවල්වල මේ මිනිහා සිය උඩුකය නිරාවරණව සරමක් ඇද උන්නේය. මේ මිනිහා 'මනුස්සයෙක්' බව මා දැනගෙන ලගින් ආශ්‍රය කරන්නට හමුවුනේ නැත. ඒ අවාසනාවට හේතුව, මා පොඩි එකෙකු වීමය. එහෙත් මා ඔහු දන්නා විදිය ලියා තබමි. මට වෙන කරන්නට දෙයක් නැත.

ආනන්ද අය්යා මා හොර ගස්ගෙඩි හන්ගන තැන දැන සිටියේය. එහෙත් කවමදාවත් ඒ බව මට දැනගන්නට තිබ්බේ නැත. සමහර දවස්වල අකාරුණික වැහි වහින වෙලාවල මගේ දැල් පෙට්ටිය වැස්සට නොතෙමෙන්නට වහලයත් කොන්ක්‍රීට් ලෑල්ලත් අතර එල්ලා තිබ්බේ කවුදැයි මම දැන් දනිමි. මේ දැල් කූඩුවේ හොද අඹ ගෙඩියක් පුස්ඹ දෙමින් ඉදෙන විට මම ආනන්ද අය්යාට දෙන්නට අහන්නෙමි. 'තමුසෙට කොහෙන්ද..කාගේ ගහේද..' වෙනුවට ආනන්ද අය්යා, 'තව ටිකක් තියල කනවා... ඔය ගහේ අඹ ඔයිට වැඩිය ඉදෙන්න ඕනේ..' කීමම මේ මනුස්ස‍යාට හදවතක් ඇති බව දැනෙන කාරණාවකි. ඒ හදවතට පෙම්බැදි අක්කා කෙනෙකුද වූවාය. ඈ තලෙළු බව මට මතකය. යන්තම් ඡායාවක් මෙන් ඈ මට මතකය. ආනන්ද අය්යා මේ අක්කාට හදවතින්ම ආදරය කරන්නට ඇත. එහෙත් ආනන්ද අය්යා ආදරය අපටත් එකසේ බෙදා දුන්නේය. එක දිනක මාද ආනන්ද අය්යා සමග ඒ අක්කා බලන්නට රත්තනපිටිය පැත්තේ කියා මට මතක, ගෙදරකට ගියෙමි. ඒ අක්කා මාද ලග හිදුවාගෙන නොයේකුත් ප්‍රශ්න ඇසුවාය. ඒ අතරේ 'ඔයාගේ අර අඹ කූඩෙන් මටත් එකක් එවන්නකෝ 'යැයි කීවාය. ආනන්ද අය්යා වෙනුවෙන් මට ඈට සලකන්නට ලැබීම සතුටකි. මම 'හා.. මම දැන් යන්නද' ඇසුවෙමි. අක්කා 'හා' කීවාය. මම අඩියක් ඉදිරියට තිබ්බා පමණි. අක්කා මා අල්ලා ගත්තාය. ''මේ මේ ඉන්න..යන්න එපා..මට අඹත් එපා..ඕං ඕගොල්ලන්ගේ අය්යට ඩෝං ගිහින් මම අඹ ඉල්ලුවා කියල..' කියා ඈ මා අල්ලාගෙන ගෙට ගියාය. ඒ මේ මනුස්සයාගේ හැටිය. ඉන්පස්සේ ඒ ගිය ගමන සතුටුදායක එකක් නොවන තැනකට පත්වී ආනන්ද අය්යා මා කැටුව යලි ආවේය. ඒ එන අතරේ 'ඔයාට වැඩිපුර තියනවානම් පස්සේ එකක් දෙන්න අක්කට..' කීවේය. ඔහුට දුක හිතෙන්නට ඇත. අප දෙදෙනා ගැනම දුක හිතෙන්නට ඇත.

ආනන්ද අය්යා වැඩ කලේ රත්මලානේ බව මට මතකය. හැම පඩි දවසකටම ආනන්ද අය්යා, මගේ තුන්වැනි අය්යා සහ ඒ වෙලාවේ ඉන්නා කෙනෙකු දෙල්කද ආප්ප කඩේට යන්නෙමු. ඔහුගේ පලමුවෙනි රාජකාරිය ඒ බව මට සිතේ. බිත්තර ආප්ප, නිකං ආප්ප සහ ලුණුමිරිස් සම්බෝලය සමග අපට හොදට බඩ පිරෙන්නට කන්නට දී ප්ලේන්ටියක් සමග පැණි ආප්පයක් අරන් දීම ඔහුගේ පුරුද්දය.ඔවුන් වරු ගනන් කතා කර කර උණු උණු ආප්ප බුදිති. මම ඒ දෙතුන් දෙනා අතර බට්ටෙකු මෙන් වාඩි වී ඔවුන්ගේ කතා වලට සවන් නොදී ආප්පම බුදිමි. එක්කෝ මා රැගෙන යන්නේ මා ඒ වෙලාවට කොට තාප්පේ ලග රැදෙන නිසා බව මා සිතා සමහර දවස්වල ගෙදරට වී ඉදිමි. එහෙත් අපේ අය්යා කෙනෙකු ' වරෙන් ඉක්මනට ආනන්ද අය්යා බලන් ඉන්නවා' කියා බෙරිහන් දෙන විට මා වැරදි බව වටහා ගනිමි.

මේ මට මතක, මතකයෙන් ඈත් නොවන්නට දෙන ඡායාරූපයක කතාවකි. ඒ ගෙදර අය ගැන වෙන වෙනම ලිවිය හැකිය. ඒ හැමෝම හොද මිනිසුන් වෙයි. එහත් ඒ ගැන නොලියා මේ ඡායාරූපයේ කතාව ලියමි.
එදා උත්සවයක් හෝ දානයක් හෝ ගෙදර අය එකට එකතු වූ මොහොතකි. සියලු දෙනා අහාර ගෙන නිමවී ඡායාරූපයකට පෙනී සිටින්නට එන්නැයි තවත් 'අලංකාර' මනුස්සයෙක් වූ මේ ලගදී මියගිය ඒ පවුලේ ලොකු අක්කාගේ මහත්තයා කීවේය. මම ඒ වෙලාවේ කෑම කමින් සිටියෙමි. මේ ගෙදර කෑම මේසය වටා සියල්ලන් එකතු විය. නැන්දා, ලොකු අක්කා මහත්තයා, දෙවැනි අය්යා, ලොකු අක්කාගේ ළමයින්, පොඩි අක්කා ඇත්ලු සියලු දෙනම මේ ඡායාරූපයට එකතු වූ අතර ඡායාරූපය ගන්නට ලැහැස්ති වී සිටියේ ආනන්ද අය්යාය. මම මා පවුලේ ලගම එකෙකු නොවන නිසා වෙනත් ඡායාරූපයකට පෙනී සිටින්නට කතා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් කෑම පිගානද අතැර ලකලෑස්ති වුනෙමි. අන්තිමේ ඇරයුම ලැබිණ. මා වම්පැත්තේ කොනට එකතු වුනෙමි. 'මෙහාට වෙන්න...' මට එකොන සිටි කෙනාගෙන් තල්ලුවකි. මම මැදට ආවෙමි. මැදින්ද තල්ලු කෙරුනෙන් දකුනේ කොනට ආමි. එහිද කෙනෙකු හරියට නොපෙනෙන නිසා මා තල්ලු විනි. මා නැතුව ඡායාරූපය ගන්නට සියලුම දෙනා ලහැස්තිය. එහෙත් කැමරාකරු රතු වී දත්මිටි කන්නේය. 'ඔය ලමයවත් ඇතුලට ගන්න..' විධානයකි. එහෙත් ගන්නා පාටක් නැත. එහි වරදක් නැත. එකල ෆොටෝ ගත්තේ දන් වගේ ආවාට ගියාට නොව කලාතුරකිනි. අනික ඒ පවුලේ අයට මා නැතුව ඡායාරූපයක් ගන්නට තිබෙන ඕනෑකම අසාධාරණ නොවේ. එහෙත් කැමරාකරු ඊට අනුමැතිය දෙන පාටක් නැත. අන්තිමේ කවුදෝ ගැටළුව නිරාකරණය කලේය.

ඒ ඡායාරූපයේ හිනාවීගෙන කරට අත දමාගෙන සතුටෙන් ඉන්නා පවුලකි. ඒ අය වටවී ඇති මේසය යට බිම ඉදගෙන  සතුටෙන් හිනාවී දත්පෙන්නන පොඩිකොල්ලෙකි. ජීවිතයක අරුම ..ආනන්ද අය්යා මා අතැර ඒ ඡායාරූපය ගන්නට අකමැති වූවේය. ඔහුට ඕනෑ වුනේ මටත් එකලෙස සලකන ගෙදරක ඒ ඡායාරූපය ගන්නටය .ඒ වාගේම ඔහු එවන් සාධාරණ සමාජයක්ද පැතුවේය. ඒ සමාජය බිහිකරගන්නට සමාජ ව්‍යාපාරයකට අතදුන්නේය. මා ඡායාරූපයේ ඉදිද්දී ආනන්ද අය්යා අතුරුදහන් වී තිබේ. අතුරුදහන් කොට තිබේ.

මා මිනිහෙකි. ආනන්ද අය්යා මනුස්සයෙකි.

Tuesday, November 15, 2016

මිහිර සිත්තර සහ ලන්කට්



මිහිර බැද තිබුනේ පිළිවෙලටය. සති පනස්දෙකක් කොටස් හතරකට බැද ඒවා කඩදාසි බෑග්වල දමා අපූරුවට තිබුනා මට දනුත් සිතින් මවා ගන්නට පුළුවන. හංවැල්ලේ සිට ආ විගස මා කරකවා අතහැරියා මෙන් නිසා ලොකු අම්මා ඇයගේ දියණියට 'ඕං ඕකෙන් පත්තරයක්වත් දීපං කොල්ලට බලන්නට' යැයි කීවාය.

 මම ලොකු අම්මා ලග කිහිපවතාවක්ම නැවැතී ඉද තිබේ. ඒ ගෙදරදී මට හොද සැලකිලි ලැබුනේ ඇයට සිටියේ එක දුවෙක් නිසාය. පුතා තාත්තා සමග වෙන්ව ගොස් තිබුනේය. ඒ පුතාගේ අඩුව පිරෙන්නට අපේ ගෙදර හතරදෙනෙක්ම සිටි එක හොද වුනත් ඈ මවා ගත් සතුටු කේන්තියකින් අප 'පර' වැඩක් කල සැම විටම එලවාගත්තාය. එක වරෙක මගේ 'එල්ලෙන එකට' හොරි හැදී කස කසා ඉන්නා හැටි බලා ඉන්නට බැරිව ඈ මා එක්කාගෙන නුගේගොඩ ආ හැටිත් මට ඡායාවක් වාගේ මතකයේ තිබේ.

කෙසේ හෝ මාත් කරන්නට කිසිත් නැති තැන 'මිහිර' කියවන්නට පටන් ගත්තෙමි. අවසානයේ උදේ කුණුකෙල පිටින්ද, දවල් ජයසින්හේ සිට ආ ගමන්ද, කක්කුස්සියේ කර්තව්‍ය කරන ගමන්ද මම මිහිරට ඇබ්බැහි වුනෙමි. කොටින්ම කියනවානම් සීනීයාස් මල් ඇටයක් නහයේ කොනක තබාගෙන ' මල් මාමාගේ ' නහයේ මල මෙන්  පැලවෙනකම් බලාසිටියෙමි. ඒ තරම් මිහිරට මා ඇබ්බැහි විය. අන්තිමේ පත්තර බණ්ඩල එකින් එක ඉවර විය. ඉන් පස්සේ සතිපතා මිහිර එනතෙක් රස්තියාදුවේ ගියෙමි. පත්තරේ ආවේ බදාදාද  සදුදාද කියා මට මතක නැත. එහෙත් පත්තරේ ලොකු අම්මා හෝ බාප්පා ගෙනා සැනින් මැදින් පිටුවක් උස්සාගෙන  අපේ ගෙදර මේසේ උඩ හෝ යට ඉද එක හුස්මට ඉවර කරමි. ඉන්පසේ තව පිටුවක් සදහා ලොකු අම්මාගේ දියණිය හා රණ්ඩු වෙන්නෙමි. බැරිම තැන. 'මාත් ගන්නවා යකෝ..අම්මට කියල ..උඹ තියාගනින් ' කියා පරාජිත රණ්ඩුවක් ඇදගනිමි. අන්තිමේ ඈ මුලු පත්තරේම මවෙත විසිකරන්නීය. ඇය කදුළු පෙරාගෙන අඩන්නීය. ලොකු අම්මා ඇයටද මටද දෙන්නාටම බැන බැන වැඩෙහිය. මම මිහිරේ නිසා මට මේ මුකුත් පේන්නේ නැත.මම මගේ පාඩුවේ මිහිර රසවිද ඇයට යලි දෙනවිට ඈ බත් කා ඇදුම් මාරුකරගෙන 'සෙල්ලං ගෙයක්' කරන්නට ඇවිත්ය.

මට බඩගිනි එන්නේ එතකොටය. 'පොඩ්ඩක් ඉන්න මම ටකස් ගා එනවා' කියා අපේ කුස්සිය පෙරළුවද බඩට දාගන්නට දෙයක් නැත. තුන්වෙනි අක්කාද කිසිත් නොකියා 'පුස්මේන්තු' මූණක් දාගෙන සුදු ගවුම පිටින් පොතක් කියවයි. ඈ කවමදාවත් ඒ ගැන කෑ ගැසුවේ නැත. ඒත් මට පරල වී 'බඩගිනි ..මේ ගෙදර කන්න දෙයක් නැත' කියා ලතෝනි දෙන්නෙමි. අක්කා ඊට පසු පරල වෙයි. 'කට වහං හිටු බූරුවෝ' කියා මට ආදරෙන් කතා කරන්නීය. ඒත් මගේ ව්‍යායාමය සාර්ථකය. ලොකු අම්මා ලොකු තහඩු රෝසමල් පිගාන පිරෙන්නට බත් එකක් බෙදාගෙන එන්නීය. 'මේ මනුස්සයා කොහේ ගියාදැයි' හිමීට අම්මා සොයා මුමුණන්නීය.අම්මාට මුණු මුණු ගගා මොනවා කීවත්..ලොකු අම්මා තාත්තාට කිසිත් කියනු මා දැක නැත.
 මට තාමත් හිතාගන්නට බැරි දෙයක් තිබේ. ඒ ලොකු අම්මා අපේ තාත්තාට දැක්වූ ගෞරවය හා ආදරයයි. තාත්තා අසනීප වන හැම වෙලාවකම වාගේ ඇවිදගන්නට අමාරු ලොකු අම්මා ත්‍රීවිලරයක් අරන් දැනුත් අපේ ගෙදර එන්නේය. ඒ බැදීම් හරිම හර්ද්‍යාංගමය.

ඉතින් අර බත් එක අප දෙන්නා හෝ මම තනිව හිස් කරන්නෙමි. මට 'මේවා මතකදැයි' අක්කාගෙන් අහන්නට වුවමනාය. ඇයට මෙයට වඩා දේවල් මතක තියනවා ඇත. අපට මේ බත් පිගානත් නැති දවස් තිබේ . එහෙම දවස්වලට ගස්ගෙඩි තිබුනාට එහෙම නැති දවස් තිබීම ස්වබාවධර්මයේ වැරැද්ද නොවේ.  එහෙම දවසක පෙරදා අම්මා මිරිස් ඇඹරූ ගලේ සුදු බත් දා අනාගෙන කෑ දවස් මට අමතක නැත. මේ ලගදී ලොකු අම්මා මා ඇය දකින්නට ගිය විටද මේ කතාව මතක් කලාය. 'එහෙම කෑ නිසා අද මෙහෙම ලැබෙනවා' කියා ඈ කීවාය. එහෙම වෙන්නට ඇතිය.

මේ සෙල්ලම් ගෙදර මට කෂණිකයෙන් එපා වෙන්නේය. 'අපෝ තමුසෙගේ ගෑණු සෙල්ලං කියා ' මම මාරු වෙන්නෙමි. ඉන්පස්සේ මම මගේ 'ගැං' එකත් එක්ක ඉරිදාපොල, දෙල්කද ඇල, රත්තනපිටිය, පැගිරිවත්ත, උඩහමුල්ල, රේල්පාර, වනාත පාර, ගෙවල් පේලිය, අනෝජා වීරසින්හගේ අක්කාගේ ගෙදර ඉස්සරහා පිංලිද ආදී නෙක විධ පාරවල්වල ඇවිද යන්නෙමු. ටයර් පදින්නෙමු.

මිහිරට අමතරව අපට චිත්‍රකතා බැලීමටද ප්‍රෝග්‍රෑම් එකක් තිබිණි. එකල 'සිත්තර ,මධුර' ජනප්‍රියතම චිත්‍රකතා පත්තර විය. පත්තර අප මිලදී ගන්නේ නැත. ජයසින්හේ ලග පොඩි කඩේ මේ පත්තර කුළියට දෙනු ලැබේ. කඩේ බංකුවේ ඉද කියවීමට සත දහයක් හෝ විසිපහකි. ගෙදර ගෙන ඒමට සත විසිපහක් හෝ රුපියලකි. මේ ගනන් මට හරියටම මතක නැත. මේ පත්තර සදහා අනුග්‍රහය සීනී අක්කාගෙන් හෝ පද්මා අක්කාගෙනි. මා එක්කාගෙන ගොස් පොඩිකඩේ මුදලාලිට අදුන්වාදී මේ රාජකාරිය මට නිත්‍ය ලෙස සිනී අක්කා පවරාදුන්නාය. ඇගෙන් රුපියලක් රැගෙන හැල්මේ දුවන මම සීත්තර හෝ මධුරත් රැගෙන කෙලින්ම 'සිගිති'ලාගේ ගෙදරය. ඔබ හිතන්නේ මට වැරදුනා කියලාද..? නැත. සීනී අක්කා සහ සිගිතිලාගේ අම්මා නෑනලාය. ඒ නිසා වලිය. වලි නිසා කතා නොකරති. එහෙත් ඒ දෙන්නාටම පත්තරය ඕනෑය. සල්ලි සීනී අක්කාගේ වුව මම පත්තරය දෙන්නේ ඇයගේ හතුරාටය. (මේ අපේ කාලයේ ලමා රන්ඩු වැනි ඒවාය. පොඩ්ඩ බැරිවෙන්නට රණ්ඩු වූවාට එක මොහොතෙන් දෙ නෑනලා බදාගෙන අඩන වෙලාවල් ඕන තරන්ය.)ඈ මට සත පනහක් දෙයි. ඒක ඩිලිවරි ගාස්තුය. ඉන්පස්සේ ඈ එක හුස්මට සිත්තර කියවයි. ඈ කියවූ පසු මම ආයෙත් බොරු හැල්මේ සීනී අක්කා ලගය. ' පත්තරේ ගෙනිච්ච කෙනෙක් ගෙනල්ලා නැතුව පරක්කු වුනා..' මම මගේ අහිංසක මූණ දමන්නෙමි. 'පවු කොල්ලා රස්තියාදුවේ..' ඈ දුක්වන්නීය. මගේ සතපනහ සාක්කුවේ දගලන්නේය.

අන්තිමේ අපි සියලුදෙනා පත්තරේ කඩාගෙන මීක් නැතුව යුනිකෝ..දේදුණු කැළුම් අතරේ තනිවෙන්නෙමු. ස්පාටකස් හා යුනිකෝ මගේ වීරයෝ වෙති. ඔවුන් ඇස් කලුපාටෙන් වසාගෙන අලි සයිස් කඩු කස්තාන වලින් කරන හරඹය මට මැජික් මෙනි. මාද යුනිකෝගේ ඇස්වල හැඩයට කපාගත් කලුකඩදාසි කැබල්ලක් පැලද මගේ මිතුරන් සමග කඩු ෆයිට් කෙරුවෙමි. ඇස් වැසුණු කල යුනිකො හෙන 'ගේමක්' දුන්නද මම ඇස් වසාගෙන ගෙමක් දෙන්නට ගොස් කොල්ලන්ගේ සැර හූවකට බදුන් වුනෙමි. අහෝ ඉරිදාපොලේ යුනිකෝගේ ලන්කට් එකක්වත් නැති 'අවශේෂ' හිරිවැටී යන්නට මගේ හාල් කඩේ යාලුවා කඩුපාරක් දී තිබිණි.

Sunday, November 13, 2016

සඳ රවුම සහ උස ළමයා.









මම ඇබ්බැහියෙකි. ඒ ඇබ්බැහියට කාලයක් දෙයක් කියා සීමාවක් නැත. මම කලකට සිංදු වලට ඇබ්බැහි වන අතර කලකට චිත්‍රපට බලමි. කලකට ක්‍රිකට් ගහන්නට යන අතර කලකට උදේ හවා අවේලාවේ යාලුවන් සමග 'මචං' එකේ බියර් බොන්නෙමි. කලෙක පත්තර වලට ලියන අතරේ කලක පත්තර කියවීම පමණක් කරමි. කලෙකට චිත්‍ර අදින අතරේ කලක කැමරාව මානාගෙන පාර පුරා ඇවිදිමි. මගේ ඇබ්බැහියේ ස්වරූපය එයය. එහෙත් මගේ ආදරයේ ස්වරූපයද එසේම නොවේ. මම ආදරය කරන්නේ ඉතාම කලාතුරකිනි එහෙත් එහි මා ගැලී සිටිමි. එහි ගැලී ඉන්නා ඇබ්බැහියෙකු වෙමි. එවිට මගේ ඇග ඇතුලේ ඉන්නා මෝඩ-සංවේදී-උමතු චරිතය එලියට එයි. එහෙත් මා ඒ බව දැනගන්නේ 'පාවිච්චියට පෙර සොලවා ගනු' යන ප්‍රත්‍යයේ නොසිට නිසා අන්තිමේ දුක්වෙමි.

කෙසෙ හෝ මගේ ආදර කතා පටන් ගන්නේ ජයසින්හයෙනි. ජයසින්හයේ මට ආදරේ 'සඳ වාගේ රවුම්' මුහුණැති කෙල්ල සිටියාට මම ඇයට ආදරේ කලේ නැත. මම ආදරේ කලේ ඉස්කෝලේ අයින දිගේ කෙටි පාරේ සිටි උසම උස කෙල්ලටය. ඇය සඳ රවුම තරම් ලස්සනද නැත. සඳරවුම මෙන් මා කෙරෙහි අනුකම්පාවක්ද නැත. සඳරවුම මෙන් පෝසත්ද නැත. එහෙත් මගේ හිත ඈ ගැනය. වර්නන් තිලකරත්නගේ ගෙදර හොරට කඩන පේර ඈ ගන්නේ නැත. ආනන්ද අය්යලාගේ ජම්බු ගන්නේද නැත. ඇදිහැස විස්කෝතු ගන්නේද නැත. ඈ හැමවිටම 'මට එපා මම කෑවා..මම ආසා නෑ' කියන්නීය. එහෙත් දුරින් සිට යාලුවන් සමග මගේ හොර ගස්ගෙඩි කන හැටි මම දකිමි. 'ඇයි මම දෙනකොට කන්නට බැරි' මම අසන හැමවිටම ඈ මට සිනාවක් පෑවා මිස කිසිත් කීවේ නැත. එහෙත් මගේ පොත් නම් අනිවාරයෙන් ඉල්ලා ගත්තීය. ඒවාට 'මැලිබන්' බිස්කට් පැකට් වල දවටන වලින් කවර දැමුවාය. එතකොට පොත් ජරාවෙන්නේ නැති බව මට කීවාය.ඉස්කෝලේ නෑවිත් ලියා නොගත් අඩුපාඩු හැදුවාය. එකල මම පොත් බෑගයක් ගෙනිච්චේ නැත. අගලක් විතර මහත රබර් පටියක් මට දුන්නේ 'මගේ නිමල්' බව මට යන්තමට මතකය. ඒ රබර් පටිය එකතු කොට පොත් මිටියම රදවාගත්තෙමි. ඈ ඒ රබර් පටියේ ප්ලැටිග්නම් පෑනකින් මගේ නම ලියා දුන්නාය. එක කාලයක ජයසින්හේ සීනුව නම් උදැලු තලේට යකඩ ඇණයකින් ගසා 'බෙල්' කිරිල්ල බාරව හිටියේ ඇයය. 'ඔයා කවමදාවත් මා බෙල් එක ගහනවා බලන්නට ඉස්කෝලේ නැත' කියා නම් ඈ දුක්වූවාය. 'කොහේ ඉන්නද ඒ වෙලාවට මම ගහක නොවැ' කියන්නට හිතුනත් මම මගේ හිනාවෙන් 'ඊලගපාර ෂුවර්' කියා බේරුනෙමි. එහෙත් අපි දෙන්නා කවමදාවත් 'මම ඔයාට කැමැති හෝ ඔයාට මම කැමැති' ජාතියේ ආදරය නොකෙලෙමු. ආදරය අදටත් මට මහා විහිලුවක් වී ඇති කල එකල මොන පිස්සුවක්ද..

එහෙත් අප දෙන්නා හැමතිස්සෙම ලග සිටියෙමු. සඳරවුම මට ඈ ගැන දොස් කීවාය. 'ඔය ඔයාගෙන් පාඩම අහගෙන එක වෙන්න හදන්නේ' යැයි කීවාය. මම සඳරවුමටත් හිනාවකින් පමණක් පිළිතුරු දුන්නෙමි.එකල ජයසින්හේ හිටපු සර් කෙනෙකු පාසල් වේදිකා නාට්‍යයක් සදහා ලමයින්ට එන්නැයි කීවා මට මතකය. මෙහි ප්‍රධාන චරිතය කලේ මගේ අක්කාය. මාවද යම් කොටසකට තෝරාගන්නා ලදි. එහෙත් උස ලමයාව තෝරාගත්තේ නැත. සදරවුම තෝරාගත්තත් ඇයගේ අම්මා අකමැති විය. මම සර්ට උස ලමයා ගැන කීමි. එයා ඒ චරිතෙට ගැලපෙන්නේ නෑ. උසත් වැඩියි. කියා සර් මගහැරියේය. අන්තිමේ උස ලමයා සනසන්නට මමද නතරවුනෙමි. ඊටත් වඩා මගේ රස්තියාදුව මට මිස් වෙයි. නාට්‍ය වගේද ගස් ගෙඩි..! කෙසේ වෙතත් අම්මා අක්කාව තනියම 'ප්‍රැක්ටිස් ' යවන්නට අකමැති වූ නිසා මා බලෙන් යවන ලද්දේය. මම උස ලමයාට මම හවස නතර වෙන බව කී විට ඇයද පුහුණුවීම් දවස්වල හවස රැදුනාය. ඈ ගෙදරට කියන්නට ඇත්තේ ඈවද නාට්‍යයට තෝරාගත්තා කියා වෙන්නට ඇත. මට තිබුනේ ඉතා කුඩා චරිතයකි. එහෙත් අක්කා බලාගැනීම 'ලොකු චරිතයක්' නිසා උස ලමයා සහ මම පුහුණු කාමරයේ නිදිකිරා වැටුනෙමු. එහෙත් ඈ වරි වර මගේ ඉලපතට ඇන මා නැගිට්ටුවාය.මම එපා කීමී. එහෙත් ඊලග පාර අනින්නේ කොයි වෙලාවේදැයි ඇස් පියාගෙන බොරු නින්දක වැටුනෙමි. ඈ ඊලගපාර අනින විටම ඇගේ ඇගිලි අල්ලාගත්තෙමි. අපෙ ආදරයේ 'ෆිසිකල්' තරම එච්චරය. නාට්‍ය නිසා බොහෝ දේ සිදුවිය. ඒ සර්ට විරුද්ධව අම්මලා හා අනෙක් ටීචර්ලා එක එක කතා කීය. ඔහු එකල තරුණයෙකි. ඔහු වෙනසක් කරන්නට හොද යමක් කරන්නට හදන්නට ඇත. එහෙත් ඔහුව විවේචනයට ලක්විනි. පසුව නාට්‍ය පමණක් නොව පසලද හැරදමා ඔහු යන්නට ගියේය. අපටද 'ඇගිල්ලෙන් ඇනගන්නට' තිබූ චාන්ස් එක නැතිවිය.

 ඒ අතරේ වාර විභාගයක් අවසානයේ මගේ එහාපැත්තේ මේසයේ විභාගය ලියමින් සිටි කොල්ලෙකු කුඩා කොල කැබැල්ලක් මවෙත විසීකිරීම ගුරුවරියක දැක්කාය. ඇය සිතුවේ එය විබාග හොරයක් කියාය. ඒත් තිබුනේ මගේ නමත් උස ලමයාගේ නමත් යා කොට ලියා හදවත් දෙකක් ඇදි රූපයකි. මේ ගුරිවරිය මේ කොල කැබල්ල පුත්තලං මිස් නම් මගේ 'ආදරණීය පන්තිබාර' ගුරුතුමියට දුන්නාය. ඇය පරල වී ආරූඩ වී දහ අට සන්නියම නැටුවාය. අම්මා තාත්තා දෙන්නාම එක්කා එන ලෙස කීවාය. මම ඇයට වැන්දෙමි. මෙය උස ලමයාගේ වැඩක් නොව මගේ සහ එය විසික් කල එකාගේ වැඩක් බව කියා දිවුරා කීමී. යන්තම් උස ලමයා බේරිණි. විසික් කල එකාට සහ මට දෙමාපියන් එක්කා එන ලෙස පුත්තලං මිස් අන කෙරිණි. දැන් මා කුමක් කරන්නද. අම්මාට කීවොත් අම්මා ලැජ්ජාවට පත්වනු ඇත. පුත්තලන් මිස් අත අරින ජාතියේ කෙනෙකුද නොවේ. මම ගෙදර ගොස් අම්මාට ටීචර් එන ලෙස කිව් බව කීමී. එහෙත් හේතුව නොදන්නා බව කීමී. මම එදා ඇත්තටම ලැජ්ජා වීමී. අම්මා අපගේ බඩවල් පිරවීමට කොයිතරම් දුක්විදින්නේද, කොයිතරම් ලැජ්ජාවලට පත්වන්නේද..මා කුමක් නම් කරන්නද..මම මගේ දුක ලැජ්ජාව හා කෝපය අර කොල කැබැල්ල විසික් කල එකාගේ නහයෙන් ලේ එනතුරු පිරිමසා ගත්තෙමි. එහෙත් හදිසි කෝපය නිසා මට පාඩු විය. මේ කෙහෙල්මල් අස්සේ කරවල සර් හා පුත්තලං මිස් අතර හුටපටය දුරදිග ගොස් ලොකු සිද්ධියක් නිර්මාණය වී තිබීම නිසා අපේ 'කේස්' එක අමතකව ගියේය. එහෙත් මම ගුටි දුන් නිසා එක යාලුවෙක් නැති විය. මේ 'චිට්' එක නිසා උස ලමයා මා පහේ පන්තියෙන් නුගේගොඩ පිරිමි පාසලට යන තෙක් යලි මට අත්‍යාවශය්‍යම කාරණයකදී ඇරෙන්නට කතා නොකලාය.

ඉන් බොහෝ කාලයකට පසු ඈ මට මුණ ගැහුනේ  නුගේගොඩ 'නන්දලාල්' සර්ගේ පන්තියකදීය. ඈ මා සමගම අස්වී බාලිකාවකට ගොස් තිබිණි. (ජයසින්හේ තිබුනේ පහ පන්තිය දක්වා පමණි.) මා දුටු සැණින් ඈ මා හදුනාගත්තාය. දිව විත්ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී කතා කලාය. 'කෝ තාම නම් ලියලා චිට් යවනවාදැයි' ඇසුවාය. මම හිනාවී 'තාම ඇගිල්ලෙන් අයින්නට කෙනෙක් හම්බවුනේ නෑ' කියන විටම ඈ සියල්ල අමතක වී මහ හඩින් සිනා සුනාය. ඒ සිනාවට ඈ දෙස ඇස ගසාගෙන සිටි ජැණ්ඩි පහේ කොල්ලෙක් 'පුක්' මූනක් දම්මේය. ඈ යලි සෝමාරි මූනක් මවාගෙන 'මා යන්නම් කියා අර කොල්ලා ලගට යනවා මම හැගීමක් නැතිව බලා සිටියෙමි.

Thursday, November 10, 2016

දෙමලා සමග ලයිව් ෂෝ


 



ඉරිදා පොල පැත්තේ සිට අටේ කනුවට යන පාරේ වම් පැත්තේ '8' ලකුණු කල ලොකු සිමෙන්ති කණුවක් තිබේ. මේ කණුව ඉන්ග්‍රීසි වී හැඩයේ නිසා කනුව පිටුපස්සේ විවරයක් තිබේ. ඒ විවරයේ සත පහේ දහයේ කාසි හංගන පිස්සු හැදුණු මනුස්සයෙක් සිටියේය. ඒ සල්ලි හැංගීම දැනන් සිටි තව පොඩි කොල්ලෙක්ද සිටියේය. පිස්සා කාසි දහයක් හංගන විට කොල්ලා කාසි දෙක තුනක් සොරකම් කලේය. අදද ඒ හැන්ගිල්ලත් හොරකමත් දන්නේ ඒ පිස්සා හැරුණු කොට ඒ කොල්ලා පමණි. ඒ කොල්ලා රස්තියාදුවේ යන්නේ ඔය කනුව පසු කරමිනි.

මා දැන් යන්නේ විජෙරාමේ 'බටර් කෑ ගෙදර' පිටුපස්සේ අපේ අම්මාගේ ඥාතියාගේ ගෙදරය. ඒ ගෙදරට යන මග,  උඩ බිම බලන, ගස් වැල්වල මොනවාහරි දෙයක් හොයන මට සෙරෙප්පු දෙකක් නැත. ඒ නිසා මහපොලොව හොදට දැනෙයි. මේ ගෙදර අපේ ඥාතියා වූ මහා ආඩම්බරකාර අධ්‍යාපන දෙපාර්තමේතුවේ ලොකු පුටුවක් දැරූ නැන්දා කෙනෙක්ද, ඒ නැන්දා ලගින්වත් තියන්නට බැරි ඉතා හොද ගති තිබූ අහින්සක මාමා කෙනෙක්ද මට මතකය. අප ඒ නැන්දාට බය බවක් 'පෙන්වූයෙමු'. නැති තැන ඇගේ පලු- දෙපලු කලේ අප පමණක්ම නොවේ. ඇය අපේ නෑදෑයා නොව මාමා අපේ නෑදෑයා විය. මේ නැන්දා මාමා දෙදෙනාම රාජකාරි නිසා වෙන පලාත්වල රාජකාරී කල කාලයේ මගේ රස්තියාදුවේ එක නවාතැනක් වූයේ එහිය. මේ ගෙදර එකල වැඩට ගත් පොඩි කොල්ලෙකු සිටියේය. ඒ කොල්ලා ඇත්තටම පොඩිය. ඔහුව 'ගෙනාවේ' බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙන් වගේය කියා මට මතකය. කෙසේ හෝ ගෙදර පොඩි පොඩි වැඩ කල මේ කොල්ලා මගේ ගජයෙක් බවට ලෙහෙසියෙන් පත්වූයේය. අප දෙන්නා ඒ වත්තේ හා අවට ගස්ගල් වල නැග සෙල්ලම් කලෙමු. ඔහු වචන උච්චාරණය කල දෙමල හුරුව මට ආස්වාදජනක විය. කෙන්ති ගිය විට හෝ මම අමන වැඩක් කල විට ' උම්ම්බ උකාපිය උත්තා' හෝ 'තෙමුසෙ කෙත්ත කෙරි වෙඩ' කරන්නේ යැයි මට කෑ ගසා කීම මා තවත් එවැනිම ''කෙත්ත' වැඩකට උනන්දු කරලිය. ඔහුගේ මිත්‍රකම මට ප්‍රියජනක වීමට මේ දෙමලාගේ මනුස්ස ගතිද බලපෑවේය. ඔහු හැමදාම මා එනවෙලාවට ඔහුට ලැබුනු කුමක් හෝ රස කෑමක් මා හට ඉතුරු කරගෙන තබාගත්තේය. මා ආ විටම 'යෙං යෙං' කියා මාත් එක්කාගෙන ඒ ගෙදර කුස්සිය පැත්තේ උසට හදා තිබූ වතුර ටැංකිය උඩට නැංගේය. ටැංකිය උඩ සිට කකුල් පහලට දා පද්ද පද්දා අප දෙන්නා මේ ඔහුගේ කොටස බෙදාගෙන කෑවෙමු. එතැන සිට අනුන්ගේ ඕපාදූප සෙවූවෙමු. මේ ඉඩමට අල්ලපු වත්තේ මසුරුසිටානාගේ රන්තැඹිළි ගහේ ගෙඩි කැඩුවෙමු.  නැන්දාත් මාමාත් ඒ පවුලේ අක්කාත් මල්ලීත් බන්ඩාරවෙල පැත්තේම සිටි නිසා මේ ගෙදර අයිතිකාරයා වූ නැන්දාගේ පුතෙක් අපට වඩා වැඩිමහල් අය්යලා 'සෙට්' එකක්ම මෙහි නවත්තාගෙන සිටියා මට මතකය. ඒ නිසා මේ ගෙදර නැන්දා මාමා නැතිවන වෙලාවට කොල්ලන්ගේ රජදහනක් විය. අපේ ලොකු අය්යා එහි නිත්‍ය සාමාජිකයෙකු විය. කුමන කාරණයක් නිසාදැයි මා නොදන්නා මුත් ගෙදරට වඩා වැඩි කාලයක් එහෙමත් නැත්නම් තනිකරම වාගේ අය්යාගේ නවාතැන වූයේ මෙහිය.මේ ගෙදර නිදහස මටත් ලොකු ධෛර්යයක් විය. බයිසිකල් රිම් පැදීම, ටයර් පැදීම මාගේ උපන් ගෙයි දක්ෂකමක් විය. ලොකු කාර් ටයරය අස්සට දෙපැත්තෙන් දැමූ ඇල්බීසීයා පොලු දෙකෙන් ගල් බොර්ළු අඩිපාරවල් වතුර පාරවල් අස්සෙන් මා පැදයනවිට 'මගේ දෙමලාද' මා පස්සෙන් දිව ආවේ උඩ පනිමින් සන්තෝසයෙනි. ඒ කොල්ලා අපේ අය්යලාගේ නිරන්තර වද බන්ධනයට ලක්විය. එහෙත් ඒ වධබන්දන ඔහු ප්‍රීතියෙන් බුක්ති වින්දේය. මට මතක ඇති ඡායාරූපයක මේ කොල්ලා කකුල් දෙකෙන් අල්ලා ඔලුවෙන් හිටවා ගත් කෙනෙකු වෙයි. ඒ ජායාරූපය කොහේදැයි හොයන්නට ඕනෑය. එක කලෙක මේ කොල්ලා අතුරුදහන් විය. එදා දෙමලා නොව අපේ එකා යැයි අඩමින් අය්යලා හැමෝම වාගේ මේ කොල්ලාව රට පුරා සෙවූ බව මට මතකය. පසුව කොහේදෝ සිට ඔහු හම්බ වී යලි මෙහි ගෙනායේය.  දැන් කොහේ ඉන්නවාදැයි මම නොදනිමි. එහෙත් මේ දෙමලා මගේ හිතේ කොනක තවමත් ජීවත් වෙයි. ඔහුට මාමා විසින් බැංකු ගිණුමක ආරම්බ කොට මුදල් දැම්මාද මට මතකය. කවදාහරි ලොකු වී ගෙයක් හදා ගත් විට මාද රැගෙන ගොස් සතුටෙන් ඉන්නා බව ඔහු මට පොරොන්දු වී තිබුනේය. ගෙයක් හදාගැනීම ඔහුගේ එකම පැතුම විය. ඔහු පරෙස්සම් කල කුඩා දේපල අතර මේ බැංකු පොතද විය. එය දැනුදු මට චිත්‍රයක් මෙන් මැවී පෙනෙයි. තැපැල් කාරයාලයේ එකතු කරන ලද මුදල් සටහන් කල පොතක්ද තිබුනා මට මතකය. එහි පිටු ඔහුගේ ඇගිලි වලට දියවී ගොස් තිබුනේ උදේ හවස ඒ පොතේ පිටු අතගෑමෙන් වෙන්නට ඇත. ඔහු දැන් ලොකු ගෙයක් හදා ආදරණීය බිරිදකදු ලැබ ලමයින් දෙතුන්දෙනෙකුගේ පියෙක් වී ඇති බවට මට ස්තිරය. එහෙම වෙන්නට ඕනෑය. නැත්නම් දෙවියන් හැටහුටාමාරක් ඉන්නා එකෙන් වැඩක් නැත.


මේ ගෙදර තවත් මතක තිබේ ඒ මතක ඒ කාලේ ගුටි කන ජාතියේ ඒවා වුනද අද මතක් වන විට හිනා යයි. එවන් මතකයක් නිසා දෙමලාද මාද කන් රතුවෙන්නට කනේ පාර කෑවෙමු. ඊට හේතු වූයේ මේ ගෙදර අය්යා උදේ එක්කාගෙන එන අක්කා කෙනෙකි. මේ අක්කා කලුය. එකල අවුරුදු විස්සක් විතර වෙන්නට ඇත. අය්යා උදෙන්ම ජැණ්ඩියට ඇදගෙන එලියට ගොස් ගොස් ආවේ තනිවමය. ඉන්පස්සේ කලබලයෙන් ඔහුගේ කාමරයේ දොර ජනෙල් වැසුවේය. ඒ එන ගමන් බනිස් කෙහෙල්ගෙඩි පාරසලයක්ද ගෙනවිත් ඒකත් අර කාමරේ තිබ්බේය. ලොකු වතුර ජෝග්ගුවක් මගේ මිත්‍රයාට කියා ගෙන්නා ගත්තේය. ඊට ටික වෙලවකට පසු අර අක්කා එන්නේය. අක්කා එන්නේ කෙලින්ම මේ කාමරේ දොර කලින් දන්නා වගේය. ඉන්පස්සේ දොර වැහෙයි. කලු වුනත් මේ අක්කා ලස්සනය. ඉතින් දොර වැහුනාට පසු දෙමලා මහත්තයා දුන්නා කියා කීයක් හෝ අරන් එන්නේය. එය ඉතා කුඩා මුදලකි. ඒ ගානට බුල්ටොවක් වැනි යමක් මිස වෙන දෙයක් ගන්නට බැරිය. කෙසේ හෝ මට නං මේ දොර වැහිල්ල ඇල්ලුවේ නැත. මගේ උත්සාහය අර වසාගත් කාමරේ වෙන්නේ මොනවාදැයි බලන්නටය.. මගේ අදහස කොල්ලාට කීමී. ඔහු ඔලුවේ අත ගසා ගත්තේය. ' මාත්තියා මා මරයි' කීවේය. එහෙත් මට   ඉවසිල්ලක් නැත. අන්තිමේ ' යෙං ඒනං' කියා කොල්ලා ඉස්සර විය. වතුර ටැංකියෙන් වහලෙටද, වහල දිගේ ඒ කාමරේ අන්තිම අයිනටද ගිය කොල්ලා බිම දිගා වී මටද ඒසේ කරන ලෙස කීයේය. මමද වහලයේ මුනින් දිගා වී එකල ගෙවල් වල තිබූ වා කවුලු පෙලෙන් අය්යා අක්කාට කෙසෙල් කවන හැටි නැරඹුවෙමි. ටික වෙලාවකින් මේ 'ෂෝ' එක ටිකක් දරුණු වේගෙන එන විට මට බයක් ඇතිවිය. මම කොල්ලාට යං යං කීමී. කොල්ලාට කිසි ගානක් නැත. මේ යකා මීට කලිනුත් මේ ෂෝ එක බලා ඇති බව ෂුවර්ය.  අපි පල්ලං බැස්සෙමු. වලෙන් බැස ටැංකියෙන් බහින්න ඉස්පාසුවක් ලැබුනේ නැත. 'පටාස්' ගා කන හරහා ලොකු අතක් ඇදී ගියේය. අපි බලන එක ඒ ගෙදර නවාතැන් ගෙන සිටි තව අය්යා කෙනෙකුද බලන් ඉදලාය. මම පසු නොබලා ගෙදර දීවෙමි. කොල්ලාද හොදට ගුටි කෑ බව මට පසුව දැනගන්නට ලැබිණි.      

මේ සිද්ධිය මට කෙමෙන් අමතක විය. එහෙත් ඉන් අවුරුදු දෙකකට විතර පසු ඒ අක්කා අපේ ගෙදර ආවාය. ඒ එක්ක අවුරුද්දක් විතර පොඩි ලස්සන කොලු පැටියෙක්ද එක්කාගෙන ආවාය. මේ කොලු පැටියාගේ තාත්තා ඔවුන් නොසලකා හැර ඇති බවත් හැකිනම් ඒ සදහා සාධාරනය ඉටුකරදෙන ලෙසත් ඈ අපේ අම්මාගෙන් ඉල්ලා සිටියාය.. අපේ අම්මා මේ අයියාගේ අම්මාට වඩා ඔහුට ලෙන්ගතු බව ඈ දැන සිටින්නට ඇත. කෙසේ හෝ බොහෝ වෙලාවක් අපේ ගෙදර කාලය ගත කල ඒ අක්කා යන්නට ගියාය. ඒ යනගමන් ඒ අය්යාගේම මුහුණ ඇති අවුරුද්දක් විතර වයස නොදරුවා සිය මවගේ උරහිසේ නිදා සිටි අපූරුව අදද මට මතකය.











Monday, November 7, 2016

ඉරිදා පොල






කාලය ගලා යන්නේ හෙමිනි. සතිය පුරාම නිසොල්මනේ ගලා යන අපේ ගෙවල් හා අවට සෙනසුරාදාට කලබල වෙන්නට පටන් ගනී. සෙනසුරාදා හවස වන විට පරන ලොරිබාග වලින් එළවලු පළතුරු පටවාගෙන ගමේ සිට එන ගෑණු පිරිමි කඩි මුඩියේ වැඩය. තමන්ටය කියා ස්ථීර කඩ කෑල්ලක් හිමිව තිබූ වෙළෙන්දෝ ඒ අඩි හතරේ දිග පලලේ, විකුනන බඩු ටිකත්, තමන්ගේ කළමනා ටිකත් අස්පස් කරගන නිදන්නටද තැනක් හදාගෙන ඉවරය.ඒ අතරේ තාවකාලික වෙළන්දන් ඒ අවට ගෙවල් වල අනුග්‍රහයෙන් බඩු මුට්ටු ටික පරෙස්සමට තබා කතාබහේය. මේ වෙලන්දන් බඩු මුට්ටු පරෙස්සම් කරන තැන්වලින් මට හොදටම මතක තැන සිසිර අය්යාගේ ගෙදරය. හැමෝම සිසිර අය්යාට 'මල්ලී' කීවේය. ඒ අය්යා හිත හොද මනුස්සයෙකි. ඉතා ප්‍රියමනාප මුහුණක් තිබූ සිසිර අය්යා හරිහමන් ඉගෙනගත්තේ නැති නිසා නෝබට් අය්යා ලග 'වෑල්ඩිං ' වැඩ ඉගෙනගත්තේය. පසු කාලෙක සිසිර අය්යා තමන්ගේම ගෙදර කොටහක් වෙන් කරවාගෙන පොඩියට වෑල්ඩිං වැඩ පටන් ගත්තේය.

(මගේ ජීවිතයේ පසු කලෙක 'හැම ලබ්බක්ම ටික ටික දන්නා- එක ලබ්බක්වත් හරියට නොදන්නා' ජාතියේ කෙනෙකු වීමට මේ අයද බලපෑවේය. ඒවායේ රැදී සිටිමින් සිසිර අය්යාට අත් උදව් දීමෙන් ලී මෝලෙන් ඉගෙනගත් ලී වැඩ වලට අමතරව (මම නුගේගොඩ ඉස්කෝලේ ටික දවසක් ලී වැඩ විෂයක් ලෙස ඉගෙනගත්තෙමි.)පට්ටං නවන දිග අරින, බොර කඩන සුළු සුළු දේවල සිසිර අය්යාගෙන් ඉගෙනගත්තෙමි. මේවා මට මැත කාලයේ බාස්ලා සමග ගේ හදද්දී මහා ප්‍රයෝජන විය. වඩු බාස් මා තම්බන්නට බැරි බව දැනගෙන මා සමග හොද මිතුරු විය. 'මහත්තයා සද්ද නැතුව හිටියට වැඩේ දන්නවනේ' කියා මේ අහිංසකයා සැමවිටම මා මගේ ගෙදර වැඩ කටයුතු වල වඩු කුසලතාව පෙනවද්දී කියා හිටියේය. )

එහෙත් මේ සිසිර අය්යා මා වෑල්ඩිං වැඩපලේ 'කාල්' ගානා එක ගැන ඒ තරං සතුටු බවක් දැක්වුවේ නැත. අන්තිමේ ඔහු ඔහුගේ නිදන කාමරය දෙකට බෙදා වෙන්කොට මට මේසයක් හා පුටුවක් හදා දී ඉස්කෝලේ ඇරී ගෙදර විත් එහි පැමිණ පාඩම් කරන මෙන් 'තර්ජනය' කලේය. ඒත් මගේ හිත රස්තියාදුවටමය. අන්තිමේ බැරිම තැන සිසිර අය්යා මගේ කනෙන් අල්ලා වෑල්ඩිං වැඩපලට එන එක නතර කෙරුවේය. මම ලැජ්ජාවට අර මේසේ වාඩිවී පැයක් දෙකක් බලිකුරුටු ඇන්දෙමි. අවසානයේ බලිකුරුටු එපා වී පුංචි පහේ රචනා ලීවෙමි. මේ රචනා ඉනුත් කලකට පසු 'මිහිර 'පත්තරේ පලවිය.

 (මිහිර මට ලන්ක්ලේ මගේ ලොකු අම්මාගේ දුවය. ඈ මිහිර සතිපතා ගත්තාය. මට ගමේ සිට ආ පසු ඇගේ මිහිර පත්තර එකතුවෙන් බන්ඩලය ගානේ කියවන්නට දුන්නාය. එයින් මා මිහිරේ ඇබ්බැහියෙකු විමී. )

කෙසේ හෝ මේ වෙලන්දන් මෙවන් තැන්  'අල්ලාගෙන ' සෙනසුරාදා බඩු ටික ගෙනවිත් තබා ගන්නා අතරේ තව කණ්ඩායමක් ඉරිදා පාන්දරම ලොකු ලොරිවලින් අවෝය. මේ අය අර කලින් කී පොඩි පොඩි 'ගමේ බඩු' ගෙනා අය නොව එකපාර 'කෑලි' ගෙනා අය විය. සෙනසුරාදා ආ අය ලග, පලතුරු වෙලන්දන් නම් වත්තේ ගස්ලබු, කෙසෙල් ඇවරි හත අටක්, අඹ ,ලොවි ගැට, වෙරළු ආදී නානාප්‍රකාර දේ තිබුනද උදේ ආ අය 'කෙසේල් කෑල්ලක්, අඹ කෑල්ලක්  අන්නාසි කෑල්ලක්, ගස්ලඹු කෑල්ලක්' ආදී වශයෙන් 'තොග' බඩු ගෙනා අය වූහ. අර පොඩි වෙලෙන්දෝ එකල කඩපේලී අස්සේ යන අපටද තැළුණු ගෙඩියක් කපා ගස්ලබු කෑල්ලක් පැත්තක් තැලුණු අඹ ගෙඩියක්, ඉදී වැඩිවී හැළුණු කෝලිකුට්ටු ගෙඩියක් දුන්නේ හිතේ කැමැන්තෙනි. මේ තාවකාලික වෙලන්දන් ආරක්ෂාවට බඩු තිබ්බේ සිසිර අය්යාගේ ගෙදර ඉස්තෝප්පුවේ හා දර මඩුවේය. සෙනසුරාදා හවස වන විට මට මේ වෙලන්දන්ගෙන් රාජකාරී පැවරෙයි. 'ලමයෝ ප්ලේන්ටියක් ගෙනත් දීපන්කෝ..ලමයෝ බල්ලො ටික එලවපන්කො..(රස්තියාදු බල්ලන් ඉටිකොල වලින් වසා තිබූ පලතුරු ගෝනි වලට 'ඒරියා මාක්' දදා යාම මීට හේතුව විය.) ලමයෝ බේකරියට ගිහින් වරෙන්කො'  ආදී වශයෙන් අනේක විධ රාජකාරී මගෙන් පිරිමහා ගත්තේය. එහෙත් ඒ සියල්ලම කරදුන්නත් බල්ලන් එලවීම මම කලේ නැත. මේ බල්ලන් සිසිර අය්යාගේ හිතවතුන් විය. උන්ට කන්නට බොන්නට දුන්නේ සිසිර අය්යාය.

(අනෙක මාද සත්තුන්ට ආදරේය. හෝමාගම ගෙදරදී මේ සත්ව කරුනාව වැඩි වී පරෙවියන්, කුකුලන්, බල්ලන් ,පූසන් ඇතිකලෙමි. මට මතක හැටිඅයට එදා ලෝකයේ 'මිල අධිකම බිත්තරය' ගත්තේ මගේ කිකිළියකගෙනි. ඒ අපේ ලොකු අය්යාය. ඒ දවස්වල ඔහු හිටියේ පිටරටය. නිවාඩුවට ගෙදර ආ විට මගේ කුකුල් කොටුවට ලොකු අය්යා විසින් ටවුමෙන් ගෙනා පලා මිටි, පරිප්පු ඇට, කඩල ඇට, විටමින් පෙති දමා  කෑමවේලක් හදන්නේය. එ වෙනුවට බිත්තර දහයක් ලෙහෙසියෙන්ම කඩෙන් ගන්නට තිබිණි.)

 කෙසේ වෙතත් මේ උදව් නම් නිකං වෙන්නේ නැත. බඩු පරෙස්සමට තබාගන්නවාට සිසිර අය්යාලාට කොටහක් ගමෙන්ම ගේන මේ වෙලෙන්දෝ මට ගෙදර ගෙනයාමට කෙසෙල් ඇවරියක්, ගස්ලබු ගෙඩියක් දෙන්නේ හිතේ සතුටෙනි. අන්තිමේ බඩු සියල්ල විකිණී නොගියොත් තවත් වැඩිපුර ලැබේ. මා දුටු මේ මිනිසුන් බඩුගන්නට එන අය සමග එක සීරුවට 'හෙට්ටිකං' කරත් කුණු කොල්ලෙට ඉල්ලන අය සමග මරාගන්නට ගියත්, අන්තිමේ ඉතුරු දේවල් කිසි ලොබකමක් නැතුව බෙදන හැටි අපූරුය. මේ මිනිසුන් මතුපිටින් හැඩි දැඩි, කලබල, නපුරු ,කපටි මිනිසුන් බවට ඉරිදා උදේ සිට හවස වෙනතුරුත්, ඉන්පස්සේ  සරල, විනෝදකාමී, අහිංසක ගෑනු මිනිසුන් බවට පත්වන හැටිත් මා විශ්මයෙන් බලා සිටියෙමි. මූන බලා  මහත්තයා, සර්, මල්ලී ,නෝනා, අක්කේ,  පුතේ ආදී වශයෙන් මිල නියම කරන මේ මිනිසුන්ගේ 'හැකියාව'  අද මා මගේ රැකියාව උදෙසා පාවිච්චියට ගන්නේ  නොවේදැයි මට වෙලාවකට හිතෙයි.

මේ අතරේ එක දවසක් කලු මිටි තරබාරු ගැහැනියක් අපේ ගෙදරට ආවාය. ඇය කුඩා සව්කැද තම්බා විකිණීමේ ව්‍යාපාරයක් ආරම්බ කිරිමට අදහස් කර සිටින අතර, ලිපක් හදාගෙන සව් තැම්බීමට, පොල්කිරි හදාගැනීමට, අනෙක් කළමනා එකලාසයක් කරගැනීමට අම්මාගෙන් හා ලොකු අම්මාගෙන් අව්සර පැතුවේ 'නෝනා ලමයි දෙන්නෙක් හදාගෙන අමාරුවෙන් ජීවත්වෙන්නේ'  කියමිනි. මේ ගැහැණිය මතක් කරගන්නට මා සිහියට ගන්නේ කෝපි කඩේ රගපෑ සුසිලා කූරගමය. අන්තිමේ 'නෝනලා' ඇයට ඉඩක් දුන්නාය.ඇය 'පුන්චි මහත්තයා' කියා මා ඇමතුවාය. ගමේ ආච්චී ඇරෙන්නට කවුරුවත් එහෙම කියා නැති නිසා මට හෙන ගැම්මක් ආ එක පුදුමයක් නැත. හැම ඉරිදාම ඈ පළමු කැද කෝප්පය අම්මාටත් ආච්චීටත් මටත් දුන්නාය. 'අනේ පුන්චි මහත්තයා මං රවුමක් ගිහින් එනකං මේක බලාගන්ටැයි' කියා සව්කැද මුට්ටිය ලග මා හිදවා වීදුරු හයහතක පිරවූ කැදත් ගෙන පොලේ නොපෙනී ගියාය. එන්න එන්නම ඇගේ වෙලදාම සරුවිය. එක කැද මුට්ටිය දෙක විය. දර ලිප ලී කුඩු ලිපට මාරු විය. වැඩි කතා බහ නොතිබූ ඇගේ කට ටික ටික ඇරෙන්නට විය. නෝනා 'ඒයි -මේයි'  විය ඒයි මේයි 'බං -බොලං' විය. පුන්චි මහත්තයා 'කොල්ලෝ' විය. 'වාසනාවයි' කියා අම්මාට දුන් කැද වීදුරුව 'මිස්' විය. වෙලාවක් අවේලාවක් නැතිව අපේ ගේ මැදින් කුස්සියට එහා මෙහා ගියාය. අන්තිමේ ලොකු අම්මා වහං හිටි කට ඇරියේය. බාප්පා අපේ වත්තට ගොඩවන්නට තිබූ කොන්ක්‍රීට් ලෑල්ල හරස් කොට උන බම්බු ගේට්ටුවක් දා සරම කැහැපට ගහගෙන එක ඉරිදාවක සුද්ද සින්හලෙන් ලොකු 'සංදර්ෂනයක්' දැම්මේය. ඈ පිටව ගියේ ඊටත් වඩා ලොකු කුණුහරුප කියමිනි. එතැනින් සියල්ල නිමවිය. එහෙත් මේ සියල්ලටම වඩා ඈ මා නවතා පොලට ගිය පසු ලොකු අසෝක වීදුරු දෙකක් විතර එක හුස්මට හිස්කරන මගේ උදේ 'හොර කැද' පංගුව අහිමි විය.

ජීවිතය හා මිනිස් ගති එහෙමය. හොද නරක බෙදීමක් නොව කාලය අනුව බෙදාගන්නකි.

එකල ඉරිදා පොල එකම හිස් ගොඩක් වූ පසු මා එහි තෙරපී තෙරපී ඇවිද යන්නෙමි. අදද සිතෙන් එහි ඇවිදිමි. රතු ලූණු රටලූණූ විකුණන තැන්වල රතුපාට ඉටිකොලද, කෙසෙල් ගස්ලඹු අල සුදූ ලූණූ විකුනන් තැන්වල කහපාට ඉටිරෙදිද, හාල් කඩල ඇට ජාති විකුනන තැන්වල සුදු ඉටිරෙදිද හෙවනට දමන්නේ හේතුවක් ඇතිව බව කියාදුන්, සරං කැහැපට ගසාගෙන උඩුකය දාඩිය පෙරාගෙන එක සීරුවට කෑ ගහන මිනිසුන් අතර මම අදද  පියමං කරමි. ඉරිදා පොල මගේ මතක ලෝකයේ ස්ථීර නවාතැනය. එහි මිනිසුන්ට ගහැණුන්ට මගේ මතකයේ මෙන්ම හිතේද ලොකු ඉඩක් තිබේ. සව්කැද හදා විකුණු තරබාරු මිටි ගැහැණියද ඇතුලුව මගේ මතකය නැතිවී යනතෙක් ඔවුන් සියලු දෙනාම මගේ මතක ලෝකයේ සැරිසරණු ඇත.

Saturday, November 5, 2016

පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.











 පානදුර පටන් ගන්නේ දෙහිවලිනි.

දෙහිවල කීවාට හරියටම සත්තුවත්තේ පිටුපසය. මේ පාරවල් ගැන මට ඒ තරම් මතකයක් නැත. එහෙත් දෙහිවලින් පානදුරට යන කාලේ මට මතකය. දෙහිවල ගෙදර, සත්තුවත්තේ ලැබ් එකේ වැඩ කල අය්යා කෙනෙකු බැදගත් අපේ අම්මාගේ ඥාති දුවක් උන්නාය. ඈ අපේ අම්මාට 'පුංචි' යැයි කීවාය. එහෙත් 'ලොකුවට' අපේ අම්මාට හා අපට ආදරය පෙන්වූවාය. පෙන්වූවා නොව දැනෙන්නටම ආදරය කලාය. මගේ ඉස්කෝලේ නිවාඩුව එහිද ගතවී ඇති බව මම කලින් කියා ඇත. වෙනදා මෙන්ම අම්මා එක්ක ඇවිත් හොටු හූරාගෙන ආපහු යන්නට ඕනෑ කීවාට නිවාඩුව අන්තිමේ තව දවසක් ඉන්නං යයි අඩන්නේද මමමය. මේ ඥාතී දුවට අපි අක්කා කීවෙමු. ඇයට 'බරපතල' කටක් තිබ්බාය.මොනවා හරි කියන්නට ඕනෑ වූ විට ඈ ඉනටත් අත්දෙක බැදගෙන ලොකු පොඩි බේදයක් නැතුව 'දුවන්නට ' දුන්නාය. ඈ වැඩිපුරම ආදරේ අපේ තුන්වැනි අය්යාටය. ඒ අය්යාගේ නිත්‍ය නවාතැන ඒ ගෙදර විය. පස්සේ කාලෙක අයියා වෙනුවට පානදුරේදී මා එහි 'රෙජිස්ටර් මෙම්බර්' කෙනෙක් වුනෙමි.

සත්තුවත්තේ පිටුපස්සේ මේ තිබුනේ ක්වාටර්ස් යැයි මම සිතමි. කෙසේ හෝ සත්තුවත්තේ නිදහස් කලාපේ මායිමේ ලොකු කන්ද කැපූ තැන මේ ගෙදර තිබුනා මට මතකය. මම බොහොම පොඩි කාලේ නිසා මට දෙහිවල මතක අඩුය. එහෙත් ඒ ගෙදර කුස්සියට මෙහායින් ලොකු වතුර පුරවන ටැංකියක් තිබුනා මතකය. ඒ දවස්වල මගේ ඉනේ ගානට උසට තිබූ මේ ටැංකියේ වතුර නොකඩවා ගලා එන කරාමයක්ද තිබුනා මතකය. මේ ටැංකියෙන් නෑමට, මූන කට අධෝබාග හේදීමට සහ ගස්වැල් වලට වතුර ගත්තා මතක ඇතත් ඉවුම් පිහුම් වලට ගත්තා නම් මට මතක නැත. කෙසේ හෝ මේ ගෙදර හොදට කන්නට බොන්නට තිබුනා නං ඉරහද වගේ මතකය. ඒ අතරේ හැම නිවාඩුවකම මේ ටැංකිය සුද්ද කරන ' රජ මගුලක් ' එයි. එකල මේ අක්කාට හිටියේ එක ලමයෙක් වෙන්නට ඕනෑය. ඔහුද මට වඩා බාලය. අපි දෙන්නා එදාට 'ලමයින් ' වාගේ හැසිරෙන්නෙමු. කොට කලිසං ඇදගෙන අක්කාගේ සුපරීක්ෂාව මැද අපි මේ අඩි දහයක් විතර දිග හතරක් විතර පලල ටැංකියේ දියබුං ගහන්නෙමු. එහා මෙහා පිහිනන්නෙමු. වැඩි වෙලාවක් දිය යට ඉන්නේ කවුදැයි නහයවල් වසාගෙන පෙනහලු රිදෙනකං ඉල්ලං කන්නෙමු. ගමේ බන්ට් එකේ හා ඇලවල් වල දගලපු දැගලිලි වලින් හැමදාම මෙහිදී ජයගත්තාට පහුවෙනිදා දනිස් අතපය සිමෙන්තියට හීරී 'දන්නට' ගන්න එක ඉවසන්න බැරිය. එහෙත් ඉවසීම ඕනෑමය. නැත්නම් ඊලග නිවාඩුවේ මේ සෙල්ලම නතර වෙන්නට පුලුවන. අන්තිමේ අපි දෙන්නාට පාන් කියාගන්නට බැරි වෙලාවට අක්කා ලස්සනට එක කොනක් කපා කෙදි බුරුල් කල පොල් ලෙලි බ්‍රෂ් එකක් දෙන්නේය. මාස දෙක තුනක් තිස්සේ බැදි දියසෙවල අතුල්ලන්නට ලේසි නැත. කොහොම හරි මේ සෙල්ලම ඉවරවී නාගෙන කලිසමක් කමිසයක් දාගෙන බත් පිගාන අතට ගන්නවා පමණය. සවල් ගැහුවා සේ අපේ බඩවලට තත්පර තුනකට අඩුවෙන් හිස්වෙයි

මේ ගෙදර අපට කවදාවත් වෙනසක් උනේ නැත. ඒ අක්කා වෙලාවකට කෝටුවෙන් අරුන් දෙන්නා මරන්නේ මටද දැනෙන ලෙසය. එහෙත් ඒ උන්ගේ වැරදි වලට මිස මගේ ඒවාට නොවේ. බොහෝ වෙලාවල්වල ඈ 'මෙලෝ පාඩමක් නොකර පන්තියේ පලමුවැනියා වන මා ආදර්ශයට ගන්නා ලෙස උන්ට තරවටු කලාය. අක්කා හිතා හිටියේ මම ගෙදර ප්‍රශ්නත් කෑම බීම හා අනෙක් කළමණා අහේනියත් පාඩමකට ගෙන හොදට පාඩං කර පලමුවැනියා වෙනවා කියාය. එහෙම කෙහෙල්මලක් මට එදා තිබුනේ නැත. එහෙම තිබුණානං කටවල් ගද කොණ්ඩෙ බැදපු එවුන්ට කන්න දෙන්නට වෙන්නේ නැත. එකම දේ ජයසින්හේ මගේ පන්තියේ හිටියේ 'ජාතික මැට්ටන් විශේෂයක්' වීම‍ය. ඒ අතරේ මට හීනීයට පොඩි මොල කෑල්ලක් තියෙන්නට ඇත. හැබැයි අද තව වෙනකං පපුව හොද එවුන් දැක්කේ ජයසින්හේ විතරය. මං ජයසින්හෙට ආදරේය ඒත් ජයසින්හේ ඉගෙනගන්නට පුලුවන්කෙනෙකුට හිටියේ මගේ අක්කා විතරය. ඈ ශිෂ්‍යත්වේ සමත්ව නුගේගොඩ අම්මා ඉගෙනගත් බාලිකාවට ගිය දා ලමයි පමනක් නොව ටීචර්ලාද ඇඩුවා මට මතකය.


කෙසේ හෝ මම මගේ ජානවල තියෙන ගති අත නොහැරියෙමි. අක්කා සත්තුවත්ත පැත්තේ යන්නට එපා කියද්දී මම ඔහේ ඇවිද ගියෙමි. ටිකට් ගන්නට වුවමනාවක් තිබුනේ නැත. ඒ අය්යාගේ නුගේගොඩ ඥාතී බව සේවකයෝ දැන උන්නේය්. ඒ නිසා අලි කොටි වලස්සු නයි පොලොං ඇතුලු උඩින් බිමින් හා වතුරේ යන හැම සතාම වරු ගනන් බලං ඉද ගෙදර ආවෙමි. සමහර දාට වැඩකරන අයට පොඩි අත් උදව් දුන්නෙමි. සත්තු වත්තේ කැන්ටින් හතරක් තිබ්බා වගේ මට මතකය. ඒ හැම කැන්ටිමකම එල්ලා තිබූ පොඩි පොඩි කෑම ජාති රසවත් ඒවා බව මම දැන සිටියෙමි. එහෙත් කොණ්ඩේ පොඩ්ඩක් හා ලොකු තට්ටයක් තිබූ ඒ අය්යාට සත්තුවත්තේ සේවකයන්ගේ නම්බුව රැකෙන පරිදි 'සෙල්ලං ' නොදා ඇසෙන් හිතෙන් පමණක් රසවින්දෙමි.සුද්දෝ කන බොන, මම පැත්ත පලාතේ නොයන 'මේං සයිස්' තැනක්ද තිබ්බ මතකය.

දැල්වල එල්ලී වෛවාරණ කුරුල්ලෝ බැලුවෙමි. ගුහා වලට එබී වලසුන් සිංහයන් එහා මෙහා යන මහා කම්මැලි ගමන නැරඹුවෙමි. අතරමං වෙයිදො බයෙන් අතෙන් බඩෙන් විතරක් නොව ලැජ්ජ හිතෙන තැන්වලින්ද අල්ලන් පරිස්සමට යන ලොකු ජෝඩු අතරේ මමද ඇවිද ගියෙමි. ගෙදරදී හොයාගන්නට බැරිවද කොහෙදෝ මල්ගස්, තාප්ප කොට,රිලා කූඩු  අස්සේ මුවාවී කොලපාට කොට කලිසං අදින සත්තුවත්තේ අයගෙන් බැනුන් අහ හා අක්කලාගේ ගවුන් අස්සේ මොනවාදෝ හොයන අය්යලා දුටුවෙමි.  හිත පිරෙන්නට බලා ඇවිදින් බඩ පිරෙන්නට අක්කාගෙන් බැනුම් ඇහුවෙමි. එයා ගැහුවනන්ං හොදය කියා ඒ දවස්වල මම හිතුවෙමි. එහෙත් අක්කා අනුන්ගේ ලමයෙක් ගැන  නිසා මං ගැන අවදානයෙන් හිටියාය. අනෙක අය්යාගේ රස්සාවට කැලලක් උනොත් යන බය තියෙන්නට ඇත. ඒ මල්ලිලා නං මං තරං සත්තුවත්ත 'වින්දේ' නැති බව සහතිකය.

මේ අක්කා අය්යාට කියා අපේ දෙවැනි අය්යාව සත්තුවත්තේ අස්සයන් බලාගන්නට රස්සාවක් කතාකරගෙන අම්මා මුනගැහෙන්නට අපේ ගෙදර ආවත්, ' අනේ ඌ ඔය සත්තු බලන්නේ කොහොමද කියා' අම්මා බෑම කීවාය. පැන්ෂන් එකකුත් තිබුණු මේ රස්සාව අතහැරීම ගැන අක්කා ඇගේ පුංචි අම්මාට දොස් කීවා මට මතකය. ජීවිතයේ වැරදි වෙයි. සමහර වැරදි හදාගන්නට බැරි ජාතියේ වැරදි වී ජීවිත විනාස වෙයි. එදා දෙවැනි අය්යා සතෙක් බලාගත්තානම් සමහරවිට මීට අවුරුදු ගනනකට පෙර 'සතෙක්' මෙන් ජීවිතය නොගෙවන්නට තිබිණි. එහෙත් මා දන්නා දෙය නම් අම්මාගේ ආදරයයි. ඈ අප හත්දෙනාට හා තාත්තාට මුලු ජීවිතයම කැප කොට ආදරය කලාය. තවමත් එහෙමය. අබ මල් රේණුවක හිතේ අමාරුවක් නැතිව තාමත් ඈට අප පුංචි එවුන්ය. මම මෙවර උපන් දිනය දා මගේ වයස කී විට..ඇස් දෙක ලොකු කරන් ඈ මට ලියා දුන්නේ මෙච්චරය.
 ' අනේ මේ බොරු නොකර ඉන්න..ඔයාට තාම 30ක් නැතුව ඇති.''

අදට මේ ඇති.. දෙහිවලින් පානදුරට යන්නට ටික වෙලාවක් දෙන්න...